December 27, 2024
සෙලාන් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් පිරිනමයි  
පුවත්

සෙලාන් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් පිරිනමයි  

Jun 21, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනමනු ලබන කාරක ප්‍රාග්ධන ණය සහ දීර්ඝකාලීන ණය නිකුත් කිරීම සඳහා කටයුතු යොදා තිබේ.

දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වෙමින් රටේ ආර්ථික වර්ධනය දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිව සෙලාන් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, ජලජීවී වගාව, පශු සම්පත් කර්මාන්තය, සත්ව පාලනය, කුකුළු පාලනය,. සංචාරක කර්මාන්තය සහ අපනයන මූලික කරගත් ව්‍යාපාර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මූල්‍යමය සහය ලබාදීමට සූදානමින් සිටී. මීට පෙරද ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනමන ලද අරමුදල් මෙරට තුළ බෙදාහැරීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ ණය යෝජනා ක්‍රම හරහා සෙලාන් බැංකුව මීට පෙර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම කුඩා පරිමාණ තේ වතු හිමියන් වෙතද ණය නිකුත් කර ඇත.

තම කාරක ප්‍රාග්ධනය ඉහළ නංවාගැනීමට බලාපොරොත්තු වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තරගකාරී පොලී අනුපාතයක් යටතේ වසර 2-3 ක කාලසීමාවක් සඳහා ණය පහසුකම් ලබාගත හැකි වේ.

සෙලාන් බැංකුවේ තවත් සුවිශේෂී හඳුන්වා දීමක් වන්නේ ‘SME Hub’ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයයි. මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ම ආරම්භ කළ සුවිශේෂී වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ ගනුදෙනුකරුවන්ට දිවයින පුරා විසිරුණු සෙලාන් බැංකු ශාඛාවලින් වඩාත් ඉක්මනින් හා පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීමද මෙම SME Hub හරහා ලබාදෙනු ලැබේ.

තවද අපනයන මූලික කරගත් ව්‍යාපාරවලට සෙලාන් බැංකුවේ පෙරළිකාරී ‘Export Expert’ සේවාව භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ. මෙම සේවාව සැලසුම් කර ඇත්තේ එම කාණ්ඩයේ ව්‍යාපාරවලට තරගකාරී ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීම සඳහා අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ලබාදීමේ අරමුණිනි. ‘Export Expert’ මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අභියෝගකාරී කාලසීමාවන්ට නොසැලී මුහුණ දීමට අවශ්‍ය මූල්‍ය දැනුම හා පිටුබලය හිමි වේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා මෙසේ අදහස් පළකළේ ය. “රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් මේ ආකාරයට ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. තරගකාරී ණය ක්‍රම සමග SME Hub සහ Export Expert වැනි සේවාවන් ඔස්සේ අප උත්සාහ කරන්නේ, රටේ විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරවල දියුණුව ළඟා කර දෙන ගාමක බලවේගයක් බවට පත්වීමටයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *