February 25, 2026
සෙලාන් බැංකුව සිසුවියන් අතර මූල්‍ය සාක්ෂරතාව නැංවීමට අත්වැලක් වෙමින් සිය 290වන ‘පැහැසර’ පුස්තකාලය සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත කරයි
පුවත්

සෙලාන් බැංකුව සිසුවියන් අතර මූල්‍ය සාක්ෂරතාව නැංවීමට අත්වැලක් වෙමින් සිය 290වන ‘පැහැසර’ පුස්තකාලය සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත කරයි

Feb 25, 2026

සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප අධ්‍යාපන කාර්යාලය – කොළඹ) චින්තා පෙරේරා සහ සුජාතා බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ඕ. කේ. ඩී. එම්. ලක්ශාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද සහභාගී වූහ.

සෙලාන් බැංකුව සහ සුජාතා බාලිකා විද්‍යාලය එක්ව පවත්වන ලද සිසුන් කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරකම් මාලාවක් වූ ‘පැහැසර සතිය’ අවසන් වීමෙන් අනතුරුව, ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාලය නිල වශයෙන් පාසැල වෙත භාර දීම සිදු විය. මෙම වැඩසටහනේ කොටසක් ලෙස, ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට සහ ඩිජිටල් කුසලතා වර්ධනයට අත්වැලක් වීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් පොත්පත් එකතුවක්, ලැප්ටොප් පරිගණකයක් සහ ස්මාර්ට් බෝඩ් (Smart Board) එකක්ද පාසැල වෙත පරිත්‍යාග කරන ලදී.

‘පැහැසර සතිය’ වැඩසටන් මාලාවට ප්‍රාථමික සහ ඊට ඉහළ ශ්‍රේණිවල සිසුවියන් සඳහා ගණිත කඳවුරක්, කීර්තිමත් සූපවේදීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරන ලද සූපශාස්ත්‍ර වැඩසටහනක් සහ, දරුවන්ට කුඩා කල සිටම ඉතිරිකිරීම සහ මූලික මුදල් කළමනාකරණය හඳුන්වා දීම අරමුණු කරගත් මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්ද ඇතුළත් විය. පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු සඳහා සිසුවියන්ද සක්‍රීය ලෙස දායක වූ අතර, එය ඔවුන්ට පාසල් ජීවිතය තුළදීම වගකීම් දැරීමේ හැකියාව සහ කළමනාකරණ කුසලතා වර්ධනය කරගැනීම සඳහා ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විය.

පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) ආසිරි අභයරත්න මහතා මෙසේ පැවසීය: “290 වන පැහැසර පුස්තකාලය විවෘත කිරීම යනු රට පුරා පැහැසර පුස්තකාල 300 ක් ස්ථාපිත කිරීමේ ඉලක්කය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. පුස්තකාල ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් සැපයීමට මෙන්ම, සිසු සිසුවියන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික සම්පත් අඛණ්ඩව ලබාදීමට සෙලාන් බැංකුව කැප වී සිටිනවා.”

‘පැහැසර සතිය’ ක්‍රියාකාරකම් මාලාවට ශිෂ්‍යාවන් විශාල පිරිසක් ඉමහත් උනන්දුවකින් යුතුව සහභාගී වූහ. වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ ශිෂ්‍යාවන් ඇතුළු සියලුම දෙනාගේ පූර්ණ සහයෝගය හිමි විය.

සෙලාන් බැංකුවේ දීර්ඝකාලීන සමාජ මෙහෙවරක් වන ‘පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතිය 2013 මාර්තු 01 වන දින ආරම්භ විය. මෙය අනාගත පරපුර සවිබල ගැන්වීමේ අරමුණින් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය යටතේ සෙලාන් බැංකුව දිවයින පුරා පාසැල් පුස්තකාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ එම පාසැල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුම් කටයුතුවලට වැදගත් වන සම්පත් පරිත්‍යාග කිරීම සිදුකරනු ලබයි.  මේ වන විට ‘පැහැසර’ ව්‍යාපෘතිය පුස්තකාල 300 සන්ධිස්ථානය වෙත ළඟා වෙමින් පවතින අතර, සුජාතා විද්‍යාලයේ පැහැසර පුස්තකාලය මෙම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මේ සියලු ජයග්‍රහණයන් දැනුම ගොඩනැංවීම, මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට දීර්ඝකාලීන යහපත ළඟා කරදීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close