February 23, 2025
Perera & Sons සමාගමෙන් කවුඩුල්ල මහ විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්
පුවත්

Perera & Sons සමාගමෙන් කවුඩුල්ල මහ විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්

Feb 11, 2025

ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන Perera & Sons Bakers (පුද්.) සමාගම විසින් පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුල්ල මහ විද්‍යාලයට Reverse Osmosis (RO) ජල පවිත්‍රාගාරයක් පරිත්‍යාග කරන ලදි. මෙය මෙරට ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීම සඳහා සමාගම දරන නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි. මෙම නව ජල පවිත්‍රාගාරය හේතුවෙන් එම පාසලේ සිසුන්ට මෙන්ම ප්‍රදේශයේ ජනතාවටද දිනපතා පිරිසිදු හා සුරක්ෂිත පානීය ජලය පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම යන්ත්‍රාගාරය විවෘත කර එය පාසල වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2025 ජනවාරි 17 දින පැවැත්විණි. Perera & Sons සමාගමේ ප්‍රධාන ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන් මාලාව සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දීර්ඝ කාලයක පටන් සුවිශාල සහයෝගයක් ලබා දෙයි.

කවුඩුල්ල මහ විද්‍යාලය වෙත පිරිනමන ලද මෙම ජල පවිත්‍රාගාරය, Perera & Sons සමාගම 2021 වසරේ පටන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අත්වැල් බැඳගෙන සිදුකරන ලද මෙම ව්‍යාපෘති මාලාවේ පස්වැන් අදියර වේ.  මීට පෙර Perera & Sons සමාගම විසින් ත්‍රිකුණාමලය මූලික රෝහලට ජල පවිත්‍රාගාර 2 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වීරපොකුණ ග්‍රාමයට එක් ජල පවිත්‍රාගාරයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාවිලච්චිය ග්‍රාමයට එක් ජල පවිත්‍රාගාරයක් ලබාදෙන ලදි. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය මෙරට නිදන්ගත වකුගඩු රෝගීන් බහුලවම වාර්තා වන ප්‍රදේශයක් වන අතර, භූගත ජලය පරිභෝජනයට අහිතකර වීම මීට ප්‍රධානතම හේතුවක් ලෙස සැලකේ. Perera & Sons සමාගම සහ ශ්‍රී ලංකා නාවික හමුදාම එක්ව සිදුකරන මෙම ප්‍රජා සත්කාර වැඩසටහන්, එම ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් සපයමින් වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු නිසැක ය.

එමෙන්ම මෙම මෙහෙවර, රජය විසින් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැක. මීට අමතරව මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 6 වැනි ඉලක්කය වන ‘පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ යන ඉලක්කය සපුරා ගැනීමටද දායක වෙයි. Perera & Sons සමාගමේ ප්‍රධාන ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතරින් අංක 10 (අසමානාත්මතා අවම කිරීම) සහ අංක 12 (වගකීමෙන් යුතු පරිභෝජනය හා නිෂ්පාදනය) සමගද සමපාත වේ.

Perera & Sons සමාගමේ ‘මනු මෙහෙවර’ ප්‍රජා සත්කාර වැඩසටහන මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, පාරිසරික තිරසාරත්වය සහ සමාජ සුභසාධනය යනාදී ක්ෂේත්‍ර රැසක් ආවරණය කරනු ලබයි. 1902 වසරේදී ආරම්භ වූ Perera & Sons සමාගම, ප්‍රණීත ආහාරපාන මෙන්ම නොසැලෙන සමාජ මෙහෙවර තුළින්, රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවුණු සාඩම්බර දේශීය සන්නාමයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගැනීමට සමත් වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close