November 19, 2025
NDB බැංකුව හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ හවුල් වී සුවිශේෂී නිවාස මූල්‍යකරණ විසඳුම් ලබා දෙයි
පුවත්

NDB බැංකුව හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ හවුල් වී සුවිශේෂී නිවාස මූල්‍යකරණ විසඳුම් ලබා දෙයි

Nov 9, 2025

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ නව්‍ය දේපළ වෙළඳාම් සංවර්ධන සමාගම් අතරින් ප‍්‍රමුඛතම ආයතනයක් වන හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙන ලදී.  ශ‍්‍රී ලාංකිකයින්ට වඩාත් පහසුවෙන් සහ නම්‍යශීලීව තම නිවාස හිමිකාරිත්ව අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුම් (MoU) පසුගිය දිනෙක අත්සන් තබන ලදී.

මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව හෝම් ලෑන්ඞ්ස් ආයතනයේ ගනුදෙනුකරුවන් සඳහාම නිර්මාණය කරන ලද විශේෂිත නිවාස ණය පැකේජයක් හඳුන්වා දී ඇති අතර, එය වැඩිදියුණු කළ මූල්‍ය නම්‍යශීලීභාවයක් සහ පහසුවක් ලබා දෙයි. මෙම යෝජනා ක‍්‍රමය මඟින් 120% දක්වා මූල්‍යකරණයක් ලබා දෙන අතර, දේපළ මිලදී ගැනීම සඳහා 100% ක් සහ ගෘහ භාණ්ඩ, ප‍්‍රතිසංස්කරණය හෝ වෙනත් නිවාස ආශ‍්‍රිත අවශ්‍යතා වැනි සහායක වියදම් සඳහා අමතර 20% ක් වෙන් කෙරේ. මෙම නව මුලපිරීම හරහා නිවසක් හිමි කර ගැනීමේ සිහිනය සාක්ෂාත් කර ගැනීම පමණක් නොව, ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජීවන අවකාශය සුවපහසුව සහ නවීන විලාසිතාවෙන් යුතුව සම්පූර්ණ කර ගැනීම සඳහා අමතර සහායක් ද සපයයි.

මෙම හවුල්කාරිත්වය හරහා සෑම ගනුදෙනුකරුවෙකුටම කැපවූ සම්බන්ධතා නිලධාරියෙකු මඟින් පෞද්ගලිකවම සහාය ලැබෙනු ඇත. සම්බන්ධතා නිලධාරියා විසින් මූලික උපදේශනයේ සිට ණය මුදල ලබා ගැනීම දක්වා සම්පූර්ණ ණය ක‍්‍රියාවලිය පුරාවටම මඟ පෙන්වනු ඇත. විවිධ පාරිභෝගික අවශ්‍යතා සහ ජීවිතයේ මූල්‍ය අවධීන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද පුළුල් ආපසු ගෙවීමේ විකල්ප පරාසයකින් මූල්‍යකරණ යෝජනා ක‍්‍රමය තවදුරටත් ශක්තිමත් වේ. මුලින් පොලී මුදල පමණක් ගෙවා ණය මුදල එකවර ගෙවීම් සැලසුම්, කුඩා වාරික වලින් ආරම්භ වී ආදායම වැඩි වන විට වර්ධනය වන පියවරෙන් පියවර ඉහළ යන ආකාරයට ගෙවීම් වාරික සැලසුම් හෝ මුලින් ඉහළ වාරික ගෙවා කාලයත් සමඟ ක‍්‍රමයෙන් අඩු කරන දෙමාපිය-ළමා ඒකාබද්ධ ණය සඳහා සැකසුණු ගෙවීම් සැලසුම් වැනි නම්‍යශීලී ව්‍යුහයන්ගෙන් ගනුදෙනුකරුවන්ට ගැළපෙන විකල්පය තෝරා ගත හැකිය.

‘මූල්‍ය නවෝත්පාදනයන් සහ නවීන ජීවන රටාවන්ට ගැළපෙන විසඳුම් සපුරාලන විසඳුම් ලබාදීම වෙනුවෙන් හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන NDB බැංකුව ඉතා ආඩම්බර වන බව’ NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. නිවසක් හිමිකර ගැනීම ජීවිතයේ වඩාත්ම වැදගත් සන්ධිස්ථානයක් බව NDB බැංකුවේ අපි සැමවිටම විශ්වාස කරන බවත්, මෙම හවුල්කාරිත්වය තුළින්, සැබෑ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නම්‍යශීලී, සහ  සුවිශේෂීව සකසන ලද මූල්‍යකරණ විසඳුමක් ලබා දීමට බැංකුවට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව ශ‍්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කර ගැනීමට සහ ඒ වෙනුවෙන් ඔවුන්ව මූල්‍ය වශයෙන් සවිබල ගැන්වීම සඳහා බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම  තවදුරටත් ශක්තිමත් කරයි. NDB බැංකුව සහ හෝම් ලෑන්ඞ්ස් ආයතනය එක්ව නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුම් මඟින් වඩාත් සුරක්ෂිත සහ තෘප්තිමත් අනාගතයක් ගොඩනැගීමට පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට මග පාදයි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති සිව්වන විශාලතම වාණිජ බැංකුවයි. 2025 යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස නම් කරන ලද අතර 2024 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සඟරාවේ (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයෙන් සවිබල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close