Megakem Engineering සහ NAITA එක්වී ජලරෝධක තාක්ෂණ ශිල්පීන්ට (Waterproofing Technicians) ජාතික වෘත්තීය සහතික පත්‍ර (National Trained Certificate) පිරිනැමීමේ වැඩසටහන අරඹයි
ජල රෝධක තාක්ෂණ ශිල්පීන් (Waterproofing Technicians) සඳහා ජාතික වෘත්තීය සහතික පත්‍ර (National Trained Certificate) පිරිනැමීමේ වැඩපිළිවෙළ සාර්ථකව කර ගෙන යෑම උදෙසා Megakem Engineering පෞද්ගලික සමාගම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමග ගිවිසුමකට නොබෝදා එළැඹුණි. මෙය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ජල රෝධක තාක්ෂණ ශිල්පීන්ට හඳුන්වා දීමට කටයුතු කළ පළමු අවස්ථාව වන අතර එය වැදගත් සන්ධිස්ථානයක් වේ. මෙයට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට NAITA ආයතනයේ සභාපති රුචික අමරසේකර මහතා සහ Wardena Venture Holdings සමූහයේ සභාපති අශෝක සිරිවර්ධන මහතා ඇතුළු එම ආයතන දෙකෙහි නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩසටහන යටතේ වෘත්තීය පිළිගැනීම සහ තාක්ෂණික දැනුම සැපැයීම තුළින් මෙරට ජලරෝධක තාක්ෂණ ශිල්පීන්ගේ නිපුණතා සහ ප්‍රමිතිය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. ඊට අමතරව, ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සැපැයීමේ අරමුණෙන් මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටම දක්වා පුළුල් කිරීමටත් Megakem Engineering අපේක්ෂා කරයි. මෙම මුලපිරීම තුළින් ජාතික මට්ටමෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුකූල, සහතික ලත් තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමටත්, ඒ මඟින් මෙරට ඉදි කිරීම් ක්ෂේත්රය නඟා සිටුවීමටත් හැකි වනු ඇත.