October 27, 2025
SLIM ආයතනය, SED සහ IDB සමඟ අත්වැල් බැඳගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගන්වයි
පුවත්

SLIM ආයතනය, SED සහ IDB සමඟ අත්වැල් බැඳගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගන්වයි

Sep 14, 2025

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) සමඟ අත්වැල් බැඳ ගනිමින්, ප්‍රමුඛතම වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නංවන ‘ගමට මාකටින්’ වැඩසටහනට අදාළ තවත් අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබිණි. එම වැඩමුළුව, 2025 අගෝස්තු 27 වැනිදා කළුතර සුගත විද්‍යාලයේදී සාර්ථකව පැවත්වුණු අතර, කළුතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSMEs) 50කට ආසන්න පිරිසක් ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමට වසර ගණනාවක් පුරා කැපවන SLIM ආයතනය, ‘ගමට මාකටින්’ වැඩසටහන තුළින්, ග්‍රාමීය ව්‍යවසායකයින් අලෙවිකරණ දැනුමෙන් සන්නද්ධ කරයි. එම ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ, තරඟකාරී වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට අවශ්‍ය අලෙවිකරණ දැනුම ලබාගැනීමට හැකියාවක් නොමැතිකමයි. ‘ගමට මාකටින්” වැඩසටහන මගින් මෙම ගැටලුවට සාර්ථකව පිළියම් යොදන එම ආයතනය, ග්‍රාමීය ව්‍යවසායකයින්  වෙළෙඳපොළ තරගය තුළින් ජයගැනීමට සූදානම් වන  බවට සහතික කරමින් ඒ සඳහා අවශ්‍ය කුසලතා සෘජුවම ලබා දීමට පියවර ගනු ලබයි.

කළුතර පැවති වැඩමුළුවත් සමගින්,  ජාතික වැදගත්කමකින් යුතුව ක්‍රියාවට නැංවෙන  
‘ගමට මාකටින්’ වැඩසටහන සුවිශේෂී සන්ධිස්ථානයක් කරාද ළඟා වෙයි. මේ වන විටත් එම වැඩසටහන මගින් කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල, එලෙස අලෙවිකරණ දැනුම පිරිනමා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිස  400කට ආසන්න වී තිබේ. මෙවර වැඩමුළුව මගින් කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ද ලැයිස්තුවට එක් කෙරෙන අතර, ඒ සෑම වැඩමුළුවක්ම ප්‍රාදේශීය ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒ අනුව විශේෂයෙන්ම සකස් කරන සැසිවලින් සමන්විත වීම විශේෂත්වයකි. SLIM ආයතනය එහි පාර්ශවකාර ආයතන හා එක්ව මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව, සමස්ත ව්‍යවසායක ප්‍රජාව ඇතුළත් අන්තර්කරණයෙන් යුත් ආර්ථික ප්‍රගතියක් උදාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

කළුතර වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ, අලෙවිකරණ ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි සුවිශේෂී අත්දැකීම් සහිත වෘත්තිකයකු වන, ජැනට් ලංකා (පුද්) සමාගමේ අලෙවි කළමනාකාර, අසංක උදයකුමාර මහතා විසිනි. ව්‍යවසායකයින්ට තම  සන්නාම ගොඩනගා ගැනීමට මෙන්ම, වෙනස් වන පාරිභෝගික හැසිරීම් අවබෝධ කර ගැනීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහාම වන නවීනතම අලෙවිකරණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ උපදෙස් ඔහු විසින් ලබාදෙන ලදී.

මෙම වැඩමුළුව පිළිබඳව අදහස් දක්වමින් අසංක උදයකුමාර මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මූලික පදනම වන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. ඒ වුණත්, ඔවුන්ට විධිමත් අලෙවිකරණ දැනුම ලබාගැනීමට ඇති ඉඩකඩ ඉතා සීමිතයි. මෙම හිඩැස පිරවීමට ‘ගමට මාකටින්’ වැනි වැඩසටහන් විශාල වශයෙන්  උපකාරී වන අතර, ඒ හරහා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරවල දියුණුවට ඉවහල් වන ක්‍රමවේද පිළිබඳව සිතාබලා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මේ වැඩමුළුවට කළුතර ව්‍යවසායකයින්ගේ උනන්දුව සහ කැපවීම දැකීමත් අපව උනන්දු කරන කාරණයක්. ඒ වගේම, මෙම වැඩමුළුව තුළින්, ඔවුන්ගේ ව්‍යාපාරවල තිරසර වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීමට හැකි වූ බවට මට විශ්වාසයි.”

එම වැඩමුළුවේ සැසි මගින්, ග්‍රාමිය ව්‍යාපාරවල ප්‍රගතියට ඉවහල් වන ‘පාරිභෝගික සම්බන්ධතාවය’, ‘සන්නාම ස්ථානගත කිරීම’, ‘ඩිජිටල් ප්‍රවේශය’ සහ ‘ව්‍යාපාරයක දිගුකාලීන තිරසර බව’ ඇතුළු මාතෘකා රාශියක් ආවරණය කෙරිණි. එහි පැවති අන්තර්ක්‍රියාකාරී සැසිවලදී, මෙම ව්‍යවසායකයින් හමුවේ ඇති අභියෝග මෙන්ම  ඔවුන්ගේ  නව සංකල්ප  බෙදාහදා ගැනීමටත්, තම ව්‍යාපාර සඳහා භාවිතයට ගතහැකි ප්‍රායෝගික සැලසුම් සකස් කිරීමටත් දිරිගන්වනු ලැබිණි. 

මෙම වැඩසටහනෙහි ජාතික වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින්, SLIM සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙලෙස අදහස් දැක්විය. “ගමට මාකටින් කියන්නේ හුදෙක්ම වැඩමුළුවකින් ඔබ්බට සුවිශාල කාර්යභාරයක් ඉටුකරන වැඩසටහනක්. අපි මේ වැඩසටහන දියත් කළේ අලෙවිකරණ දැනුම ජනතාව වෙත සමීප කිරීමටයි. කළුතර වැනි  දිස්ත්‍රික්කවලට අපගේ දැනුම රැගෙන යාම තුළින්, අපි දේශීය ව්‍යවසායකයින් සවිබල ගන්වනවා පමණක් නොව, ප්‍රාදේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දායක වනවා. මේ සෑම වැඩමුළුවක් තුළින්ම, ශ්‍රී ලංකාවේ SME ක්ෂේත්‍රයේ  අනාගතය සවිබල ගැන්වීමේ අපගේ පොදු දැක්ම තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.”

එම අදහස් තවදුරටත් අවධාරණය කරමින්, SLIM ආයතනයේ අධ්‍යාපන හා පර්යේෂණ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතාද  සිය අදහස් පළ කළේය. “දැනුම කියන්නේ, ව්‍යාපාරයක ශක්තිමත්  බවේ පදනමයි. දැනුම නාගරික ප්‍රදේශවලට පමණක් සීමා නොවිය යුතු බවත්, දැනුම වඩාත්ම අවශ්‍ය ප්‍රජාවන් කරා රැගෙන යා යුතු බවත් SLIM ආයතනයේ අපගේ විශ්වාසයයි. කළුතර වැඩමුළුව සඳහා එම ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ සක්‍රීය සහභාගීත්වය අපට දැකගත හැකි වුණා. එයින් තවදුරටත් අපට තහවුරු වන්නේ, නිවැරදි මෙවලම් ලබාදුන් පසු ඉගෙනීමටත්, නව ක්‍රමවේදවලට අනුගත වීමටත්, නවෝත්පාදන සඳහාත් ව්‍යවසායකයින්ගේ ඇති උනන්දුවයි.”

SLIM හි වැඩසටහන් හා තිරසරභාවය පිළිබඳ උප සභාපති එනොක් පෙරේරා මහතා අවධාරණය කළේ ‘ගමට මාකටින්’ වැඩසටහනේ පුළුල් තිරසරභාවය හා එහි අන්තර්කරණ අරමුණු පිළිබඳයි. “මෙම වැඩසටහන SLIM ආයතනයේ තිරසර දැක්මේ අනිවාර්ය අංගයක්. දිවයින පුරාම දිස්ත්‍රික්කවලට මෙම වැඩසටහන රැගෙන යාමෙන් අපි සහතික වන්නේ, වර්ධනය සඳහා වන අවස්ථාවන් උදාකිරීම නාගරික ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා නොකරන බවයි. අපි අද දවසේ සවිබල ගන්වන සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු මගින්ම, අනාගතයේ  ශක්තිමත් හා ස්වයංපෝෂිත ප්‍රජාවක් නියෝජනය වනවා.”

‘ගමට මාකටින්’ වැඩසටහනට පහසුකම් සැලසීම අතින් ආසියානු සුළු ව්‍යාපාර සම්මේලනයේ (ASBF) ශ්‍රී ලංකා ශාඛාව, ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එම සම්මේලනයේ හිටපු සභාපති ගයාන් පෙරේරා මහතා සහයෝගිතාවන් ඇතිකර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ, ඔවුන්ට සහය දෙන සම්බන්ධතා ජාලයක් පවත්වා ගැනීමේ හැකියාව මතයි. ‘ගමට මාකටින්’ වැනි වැඩසටහන්වලට සහභාගි වීම තුළින්, ව්‍යවසායකයින්ට  දැනුම පමණක් නොවෙයි, අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, වර්ධනයට මග පෙන්වන ප්‍රජාවක් සමග සම්බන්ධ වීමටත් හැකියාව සැලසෙනවා.”

‘ගමට මාකටින්’ වැඩසටහනේ ව්‍යාපෘති සභාපති ආචාර්ය මුදිත හේවාවනිතුංග මහතාද මෙම වැඩමුළුව පිළිබඳව අදහස් පළ කළේය. ඔහු සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකත්ව ආකල්පය පිළිබඳවයි. “අපි සංචාරය කරන සෑම ප්‍රදේශයකම ව්‍යවසායකයින්ට ඔවුන්ටම අවේණික හැකියාවන් පවතිනවා. කළුතර දිස්ත්‍රික්කයේත් එලෙසමයි. දිස්ත්‍රික්කයේ විවිධ ව්‍යාවසායකයින් තුළ භාවිතයට නොගත් හැකියාවන් මෙවැනි වැඩමුළුවකදී බොහෝවිට ඉස්මතු වනවා. අපගේ කාර්යභාරය වන්නේ, ව්‍යවසායකයින්ට දැනුම හා මගපෙන්වීම ලබාදී  එම හැකියාවන් පෝෂණය කිරීමයි.”

අවසාන වශයෙන්, SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා ආයතනයේ අඛණ්ඩ කැපවීම පිළිබඳව යළිත් අවධාරණය කළේය. “සැමවිටම අපගේ මෙහෙවර වන්නේ, අධ්‍යාපනය තුළින් වර්ධනයක් ඇති කිරීමයි. ව්‍යාපාරවල ප්‍රගතියට ඉවහල් වන දැනුම, ග්‍රාමීය මට්ටමින් ලබාදීමෙන්, තනි ව්‍යාපාරයකින් ඔබ්බට ගිය පරිවර්තනයක් සමස්ත ක්ෂේත්‍රය තුළම ඇති කළ හැකි බවට, ‘ගමට මාකටින්’ වැඩසටහන හොඳම සාක්ෂියක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close