March 26, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) විසින් වඩාත් ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) දියත් කරයි
පුවත්

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) විසින් වඩාත් ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) දියත් කරයි

Mar 26, 2026

JXG, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ මව් සමාගම රුපියල් බිලියන 5 ක මූලික මහජන නිකුතුව (IPO) දියත් කරන බව නිවේදනය කර තිබේ. JXG යනු First Capital Holdings PLC, Janashakthi Insurance PLC සහ Janashakthi Finance PLC යන සමාගම් වලින් සමන්විත වර්ධනය වන ශ්‍රී ලාංකික මූල්‍ය සමූහ ව්‍යාපාරයකි.

ඒ අනුව, JXG විසින් කොටසකට රුපියල් 10 බැගින්, සාමාන්‍ය කොටස් මිලියන 500ක් නිකුත් කිරීමට සූදානම් වන අතර, එය මූලික කොටස් නිකුත් කිරීමෙන් පසු, සමස්ත කොටස් හිමිකාරිත්වයෙන් 21.74%ක් නියෝජනය කරනු ඇත. මේ අතර Deloitte Sri Lanka ආයතනය විසින් නිකුත් කරන ලද ස්වාධීන තක්සේරු වාර්තාවට අනුව, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ එක් කොටසක වටිනාකම රුපියල් 15.92ක් ලෙස තීරණය වී තිබේ. එමඟින් මූලික නිකුතුවේ කොටස් වල මිල, එම තක්සේරු වටිනාකමට සාපේක්ෂව 37.18%ක වට්ටම් සහිත මිලකින් යුතුව ස්ථානගත කර තිබේ.

‘Breaking Barriers, Forging Futures’ යන දැක්මෙන් කටයුතු කරනු ලබන JXG විසින්, ධනය යනු පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සමෘද්ධිමත් වීමට සහ තමන්ගේ අනාගතය ගොඩනංවා ගැනීමට බලය ලබා දෙන ශක්තියක් ලෙස අර්ථකථනය කර සිටී. දශක ගණනාවක විශ්වාසය සහ මූල්‍ය අංශය තුළ අත්පත් කරගෙන සිටින ප්‍රවීණත්වය මත ගොඩනැගුණු මෙම සමූහ ව්‍යාපාරය, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවෙන් එපිටද ද තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් තම මූල්‍ය සේවා පුළුල් කිරීම අපේක්ෂා කර සිටී.

JXG විසින් IPO ආදායමෙන් කොටසක් භාවිත කරමින්, රුපියල් බිලියන 3.5ක් වෙන් කිරීම ඔස්සේ සාමාන්‍ය රක්ෂණ, ක්ෂුද්‍ර මූල්‍ය සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) යන අංශවල උපාය මාර්ගිකව ප්‍රවේශය සහ ව්‍යාප්තිය ඔස්සේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජනශක්ති සලකුණ පුළුල් කිරීමටත් විවිධාංගීකරණය කිරීමටත් අදහස් කර සිටී. තවදුරටත් සමූහය විසින් ශ්‍රී ලංකාවෙන් පිටත, ආයෝජන බැංකුකරණය, බැංකු නොවන මූල්‍ය ආයතන සේවා සහ රක්ෂණය යන පවතින ක්ෂේත්‍ර තුන ඔස්සේ, කලාපීය ව්‍යාප්තිය සවිබලගැන්වීම සඳහා රුපියල් මිලියන 500ක් යොදවනු ඇත. ඊට අමතරව, ණය ගෙවා දැමීම, ප්‍රාග්ධන ව්‍යුහය ප්‍රශස්තකරණය කිරීම සහ මූල්‍ය නම්‍යශීලීභාවය ඉහළ නැංවීම සඳහා තවත් රුපියල් බිලියන 1ක්  යොදා ගනු ඇත.

මෙම මූලික කොටස් නිකුතුව, 09 අප්‍රේල් 2026 දියත් කිරීමට නියමිතව ඇත. සීමාසහිත First Capital Advisory Services (Pvt) Ltd, මෙම මූලික කොටස් නිකුතුවේ කළමනාකාරීත්ව වගකීම සහ මූල්‍ය උපදේශනය දරයි.

JXG හි සමූහ සභාපති චන්දන ද සිල්වා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “අපගේ මූලික කොටස් නිකුතුව දියත් කිරීම ජනශක්ති ගමනේ ඓතිහාසික පියවරක් වනු ඇත. එය අපගේ මූල්‍ය සේවා පුළුල් කිරීමට, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට සහ අපගේ ශේෂ පත්‍රය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා දෙනු ඇත. ඊට අමතරව, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීම තුළින් අපගේ සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් අප දක්වන පාරදෘශ්‍ය භාවය, වගවීම සහ යහපාලනය පිළිබවඳ අප දක්වන කැපවීම තවත් ශක්තිමත් කෙරෙනු ඇත. මෙම කොටස් නිකුතුව මගින් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ JXG දරණ විශ්වාසය මෙන්ම, පුද්ගලයන් සහ ව්‍යාපාරයන් සවිබල ගන්වමින් ධනය සම්බන්ධයෙන් නැවත අර්ථකථනයක් ලබාදීම සඳහා අප දරණ ඉලක්කය ද මොනවට පිළිබිඹු කරනු ඇත.”

JXG හි කළමනාකාර අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් විසින් මෙසේ වැඩිදුරටත් අදහස් පළ කරන ලදී,  “ජනශක්ති සමූහ ව්‍යාපාරය තුළ, අපි, රක්ෂණය, ආයෝජන බැංකුකරණය සහ බැංකු නොවන මූල්‍ය සේවාවන් යන සියල්ලම එකම අනන්‍යතාවයක් යටතේ ඒකාබද්ධ කරමින්, අනාගතය හා මැනවින් අනුකූල වන මූල්‍ය සමාගම් සමූහයක් ගොඩනඟමින් සිටින්නෙමු. අපගේ මවු සමාගම ලැයිස්තුගත සමාගමක් වීම, අපට විදේශ රටවලට ව්‍යාප්ත වීමට, අපගේ මූල්‍ය සේවා පරාසය පුළුල් කිරීමට සහ අපගේ වෙළඳපොළ ස්ථානගත වීම සවිබල ගන්වමින්, නව වර්ධනයක් කරා යෑමේ නවමු ගමනක ආරම්භයක් සනිටුහන් කරනු ඇත. එමඟින්, අපගේ ආයෝජකයින්, සේවානියුක්තිකයින් මෙන්ම ප්‍රජාවන් වෙනුවෙන්ද, තිරසාර අගයක් නිර්මාණය කිරීමට අපට අවස්ථාව සලසා දෙනු ඇත.” JXG ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමත් සමඟ, සමූහයේ කොටස් හිමිකරුවන්ට, නියාමකයින්ට සහ මහජනතාවට දක්වන පාරදෘශ්‍යතාවය සම්බන්ධයෙන් වඩාත් ඉහළ ප්‍රමිතිය තවත් ශක්තිමත් වනු ඇත. මේ වන විටත්, එහි  අධ්‍යක්ෂ මණ්ඩලය ස්වාධීන අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු සමඟ ශක්තිමත් ස්වාධීන අධීක්ෂණයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close