IRCSL 6වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේ දී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිය කැපවීම අවධාරණය කරයි
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම කැපි පෙණිනි. මෙහිදී කලාපයේ වෙනස්වන අවදානම් පරිසරය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අවදානම් හමුවේ ශක්තිමත්ව සිටීමේ හැකියාව සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දිගුකාලීන වර්ධනයට සහාය වීම සඳහා රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
ජාතික රක්ෂණ නියාමන ආයතනය ලෙස IRCSL මෙම සමුළුවට සහභාගී වීම තුළින් අභියෝග කාලවලදී දිගු කාලීනව ආර්ථික වශයෙන් ශක්තිමත්ව සහ ස්ථාවරව සිටීමට සහාය වෙමින් ගෝලීය නියාමන ප්‍රමිතීන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්නුම් කරයි. සිය දේශනය පවත්වමින් IRCSL හි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය නවීකරණය කිරීම සහ ජාතික ආර්ථිකයේ ස්ථාවර බලවේගයක් ලෙස එහි භූමිකාව ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දැක්වූවාය.
ඇයගේ දේශනයේදී ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් රක්ෂණ ආරක්ෂාවක් නොමැති බවත් මෙම පරතරය අවම කිරීමේ හදිසි අවශ්‍යතාවයත් පිළිබඳව ඇය අවධාරණය කළාය. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම රක්ෂණ පද්ධතිය කෙතරම් ශක්තිමත්ද යන්න පරීක්ෂා කර බැලු අවස්ථාවක් බව ද ඇය සඳහන් කළාය. මෙම සුළිකුණාටුව හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක පමණ ආර්ථික අලාභයක් සිදු වූ අතර එය ශ්‍රී ලංකාවේ ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% කට ආසන්නය. නමුත් රක්ෂණ වන්දි ලෙස ගෙවනු ලැබුවේ සමස්ත අලාභයෙන් 6% ක් වැනි සුළු කොටසක් පමණි. එබැවින් රක්ෂණය පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එය විකල්පයක් ලෙස නොව වැදගත් ජාතික අවදානම් කළමනාකරණ මෙවලමක් ලෙස සැලකිය යුතු බවත් ඇය අවධාරණය කළාය. ශක්තිමත් රක්ෂණාවරණයක් මඟින් පවුල්වලට මුදල් ණයට ගැනීමට හෝ රජයට අමතර මූල්‍ය පීඩනයක් ඇති කිරීම වළක්වා ගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.
“තවදුරටත් රක්ෂණ සමාගම් මූල්‍යමය වශයෙන් ස්ථාවරද යන්න පරීක්ෂා කිරීමට පමණක් සීමා නොවන ලෙස අපගේ කාර්යභාරය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබෙනවා. නියාමකයින් ලෙස, අපි සමස්ත රක්ෂණ පද්ධතියම ශක්තිමත් කිරීමට මෙන්ම ජනතාව ඒ පිළිබඳව විශ්වාස කිරීමට සහ එයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා පුළුල් කාර්යභාරයක් ඉටු කළ යුතුයි. අපගේ යෝජිත දස අවුරුදු ජාතික රක්ෂණ සංවර්ධන සැලසුම හරහා, 2030 වන විට රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය ඉහළ නැංවීමටත් වැඩි පිරිසකට රක්ෂණ ප්‍රවේශය ලබා ගත හැකි බව සහතික කිරීමටත් අප කැපවී සිටිනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙහිදී IRCSL වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැහැදිලි කළේය. මෙමගින් රක්ෂණ සමාගම් වෙළඳපොලේ හැසිරෙන ආකාරය වැඩිදියුණු කිරීම, පාරිභෝගික විශ්වාසය වැඩි කිරීම සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය පුරා විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම අරමුණු කරයි. මෙම ප්‍රතිසංස්කරණ අතරට Customer Confidence Centric (3C) රාමුවක් හඳුන්වාදීම, විශේෂ වෙළඳපල හැසිරීම් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ ප්‍රඥප්තියක් දියත් කිරීම ඇතුළත් වේ. මීට අමතරව රක්ෂණ සඳහා සීමිත ප්‍රවේශයක් ඇති කණ්ඩායම් කෙරෙහි ද IRCSL අවධානය යොමු කරයි. කාලීන ජීවිත රක්ෂණ ඔප්පු සහ පුද්ගලික අනතුරු ආවරණ වැනි දැරිය හැකි රක්ෂණ සේවා ප්‍රවර්ධනය කිරීමෙන් IRCSL ඔවුන්ට සහාය වේ.
ඩිජිටල් පරිවර්තනය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම ඇතුළුව නියාමනය සඳහා වන තම ඉදිරි දැක්ම පිළිබඳව IRCSL මෙම සමුළුවේදී තවදුරටත් පැහැදිලි කළේය. මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ ස්ථාවරත්වය සහතික කරමින් 2026 වන විට IFRS 17 සම්පූර්ණයෙන්ම අනුගමනය කිරීමට කැපවී සිටින බව IRCSL අවධාරණය කළේය. තවද ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් රක්ෂණ ඔප්පු මිලදී ගැනීමට සහාය වීම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර ඇත
මෙම සමුළුවට IRCSL සහභාගී වීම තුළින් අවදානම් හමුවේ ශක්තිමත්ව සිටීමේ හැකියාව, රක්ෂණ රෙගුලාසි වැඩිදියුණු කිරීම සහ රක්ෂණය වැඩි පිරිසකට ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම පිළිබඳ කලාපීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සක්‍රීය දායකයෙකු ලෙස ඉටු කරන භූමිකාව තවදුරටත් තහවුරු විය.

