March 2, 2026
HNB හි දමිත් පල්ලෙවත්ත මහතා ‘2025 වසරේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි
පුවත්

HNB හි දමිත් පල්ලෙවත්ත මහතා ‘2025 වසරේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Mar 2, 2026

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම සම්මාන උළෙල, ආයතනික කාර්යසාධනය, යහපාලන ප්‍රමිතීන් සහ කර්මාන්තයට දක්වන බලපෑම යන කරුණු පදනම් කරගනිමින් විශිෂ්ට නායකත්වය ඇගයීම සඳහා සංවිධානය කර තිබුණි. එමෙන්ම එය ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයින්, රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එකට එක් කරන වැදගත් ජාතික සංසදයක් ලෙසද ක්‍රියා කරයි.

HNB හි ශක්තිමත් අවදානම් පාලන රාමුව, අද්විතීය නවෝත්පාදන මෙහෙයුම්, ඩිජිටල් හැකියාවන් පුළුල් කිරීම, කාර්ය මණ්ඩලයේ හා අභ්‍යන්තර පද්ධතිවල ප්‍රධාන වැඩිදියුණු කිරීම් මෙන්ම බිම් මට්ටමේ ආර්ථිකය නගාසිටුවීම සඳහා දියත් කළ පස් අවුරුදු උපායමාර්ගික සැලසුම පල්ලෙවත්ත මහතා මෙම සම්මානය සඳහා තෝරා ගැනීමට ප්‍රධාන හේතු විය.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ආරම්භයේ සිටම, HNB ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දිගුකාලීන දායකත්වයක් දැක්වූ විශ්වසනීය සහකරුවෙක්. වසර දෙකකට පමණ පෙර මා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් වූ දා සිට අපගේ ඉලක්කය වූයේ මෙම කීර්තිය ආරක්ෂා කර එය තවත් ශක්තිමත් කිරීමයි. අපි සැමවිටම අපගේ මූලික වටිනාකම් හා අරමුණ වෙනුවෙන් පෙනී සිටියා. විශේෂයෙන් ගැමි පුබුදුව සහ සරුසාර වැනි වැඩසටහන් හරහා වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට උපකාර කරමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අපගේ මූලික අරමුණයි.” යනුවෙනි.

“පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතා වේගයෙන් වර්ධනය විය හැකි අංශ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය සහ විශේෂඥ මග පෙන්වීම ලබා දීමෙන් HNB සැලසුම් සහගත ලෙස ණය දීම පුළුල් කළා. ඉදිරි වසර පහ තුළ, නව ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය භාවිතා කරමින් මෙම සහයෝගය වේගවත් කිරීමට අපි සැලසුම් කරනවා. එමගින් ශ්‍රී ලාංකේය නිෂ්පාදන ගෝලීය වෙළඳපොළට රැගෙන යන නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීම අපගේ අරමුණයි. ඒ සෑම පියවරකදීම අප ඔවුන්ට අඛණ්ඩව සහාය ලබා දෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසර තුළ HNB සමූහය ඉහළ ලාභදායිතාවයක් සහ ශක්තිමත් ශේෂ පත්‍රයක් වාර්තා කිරීමට සමත් වූ අතර බැංකුවේ වත්කම් පදනම 2025 දෙසැම්බර් අවසානය වන විට රු. ට්‍රිලියන 2.39ක් දක්වා වර්ධනය විය. 2025 දෙසැම්බර් 31න් අවසන් වූ වර්ෂය සඳහා HNB සමූහය රුපියල් බිලියන 49.8ක බදු පසු ලාභයක් සහ බැංකුව රු. බිලියන 45.4ක බදු පසු ලාභයක් වාර්තා කළේය. මේ අතර දළ ණය සහ අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 1.5 ඉක්මවා ගිය අතර, සමූහයේ තැන්පතු රු. ට්‍රිලියන 2.0 ඉක්මවා යමින් අදාල කාල පරිච්ඡේදයේදී ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කළේය.

දමිත් පල්ලෙවත්ත මහතා 2024 අප්‍රේල් මාසයේ සිට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙසත්, 2024 නොවැම්බර් 22 සිට ස්ථිර කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සිය වගකීම් මැනවින් ඉටුකරමින් බැංකුවේ මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂී වෙනසක් සිදුකිරීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close