LankaPay Technnovation Awards 2026හි දී හැටන් නැෂනල් බැංකුවට සම්මාන රැසක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැති 8 වන LankaPay Technnovation Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. එහිදී බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හොඳම සක්‍රීය කරන්නා සහ බැංකු අංශයේ LankaSign ඩිජිටල් අත්සන් සඳහා වසරේ හොඳම සක්‍රීය කරන්නා වෙනුවෙන් රන් සම්මාන දෙකක් හිමි කරගත් අතර, වසරේ හොඳම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සහිත මූල්‍ය ආයතනය වෙනුවෙන් රිදී සම්මානයක් ද, සමස්ත ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ද දිනා ගන්නා ලදී.
මෙම සම්මාන හතර HNB හි ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ දෙකක සාර්ථකත්වය පෙන්නුම් කරයි. ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හිමි වූ රන් සම්මානය මගින් විදේශීය ගෙවීම් පහසු කිරීම සඳහා බැංකුව සතු වර්ධනය වෙමින් පවතින හැකියාව නිරූපණය වේ. විවිධ රටවල් අතර ඩිජිටල් ගෙවීම් දිරිමත් කිරීම සඳහා UPI, CUP සහ Alipay වැනි ජාත්‍යන්තර සබඳතා සමඟ එක්ව කටයුතු කිරීම මෙයට බෙහෙවින් ඉවහල් විය. LankaSign ඩිජිටල් අත්සන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හිමි වූ රන් සම්මානය මගින් ශ්‍රී ලංකාව තුළ ලියකියවිලි රහිත සහ ආරක්ෂිත ගනුදෙනු පද්ධතියක් ගොඩනැගීමට බැංකුව ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයින්ට ඕනෑම ස්ථානයක සිට ලියකියවිලි, ගිවිසුම් සහ මූල්‍ය අයදුම්පත් සඳහා ඩිජිටල් ක්‍රමයට අත්සන් තැබීමේ හැකියාව ලැබේ. වසරේ හොඳම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සහිත මූල්‍ය ආයතනය වෙනුවෙන් හිමි වූ රිදී සම්මානයෙන් පිළිබිඹු වන්නේ, තනි පාරිභෝගිකයින්ට මෙන්ම සමස්ත මූල්‍ය පද්ධතියටම සෙත සැලසෙන පරිදි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා HNB අඛණ්ඩව සිදුකරන ආයෝජනයයි.
මෙම සම්මාන හිමි වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ රුපියල් 10,000 ට අඩු LankaQR ගනුදෙනු සඳහා පනවා තිබූ අයකිරීම් (Merchant Discount Rates) ඉවත් කිරීමට HNB කටයුතු කිරීමයි. එමගින් දිවයින පුරා සිටින වෙළෙඳුන් අතර මුදල් රහිත ගනුදෙනු ක්‍රමවේදය වේගයෙන් ජනප්‍රිය විය. එසේම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සිට මහා පරිමාණ ජාත්‍යන්තර සමාගම් දක්වා ඕනෑම ව්‍යාපාරයකට තම මූල්‍ය කටයුතු සහ වෙළඳ ගනුදෙනු පූර්ණ පාලනයකින් යුතුව මෙහෙයවිය හැකි ‘HNB TXB’ නැමැති ඩිජිටල් බැංකුකරණ පද්ධතිය ද බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. මීට අමතරව, ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට HNB පාරිභෝගික ඒකකයකට පැමිණීමකින් තොරව තම නිවසේ සිටම බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සහ සේවාවන් ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම් (self-onboarding) ද සලසා දී ඇත. HNB හි පාරිභෝගිකයින්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඩිජිටල් බැංකු සේවාවන් සක්‍රීයව භාවිතා කරන අතර, මෙම සියලු පියවරයන් මගින් ඩිජිටල් බැංකුකරණය සෑම දෙනාටම එකසේ සමීප කරවීමට බැංකුව සතු කැපවීම පෙන්නුම් කරයි.
මෙවර සම්මාන උළෙලේදී බැංකුව ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “මෙම ඇගයීම හරහා ශ්‍රී ලංකාව පුරා මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමටත්, සෑම දෙනාටම මූල්‍ය සේවාවන් සමීප කිරීමටත් HNB සතු දැඩි කැපවීම මනාව පෙන්නුම් කරනවා. ව්‍යාපාරික ගෙවීම් සරල කරන සහ එදිනෙදා බැංකු කටයුතු පහසු කරන ආරක්ෂිත මෙන්ම භාවිතයට පහසු ඩිජිටල් විසඳුම් ලබා දීම මගින්, ඩිජිටල් ආර්ථිකයට විශ්වාසයෙන් යුතුව සම්බන්ධ වීමට අපි වැඩි පාරිභෝගිකයින් පිරිසක් දිරිමත් කරනවා. මෙම සම්මාන මගින් FinTech පදනම් කරගනිමින් බැංකු සේවාවන් ඉතා සරලව සහ සැමට සමානව ලබා දීම සඳහා අපගේ අනාගත දැක්ම තහවුරු වනවා.” යනුවෙනි.
අපගේ පාරිභෝගිකයින්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ඩිජිටල් බැංකුකරණය භාවිතා කරන අතර, බාධාවකින් තොර සහ ආරක්ෂිත මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමට අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. පාරිභෝගිකයාගේ දියුණුව උදෙසා විශ්වාසනීය සහකරුවෙකු ලෙස ඉදිරියට යාම අපගේ අරමුණයි. මෑතකදී ශ්‍රී ලංකාවේ ‘2025 වසරේ විශිෂ්ටතම බැංකුව’ ලෙස පිදුම් ලැබීම ඇතුළු HNB ලැබූ ජයග්‍රහණ මාලාවක තවත් එක් පියවරක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකියි. එමගින් සාම්ප්‍රදායික මෙන්ම ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රවල අප සතු විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු වනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/ඩිජිටල් ව්‍යාපාර ප්‍රධානී චම්මික වීරසිංහ මහතා පැවසුවේ “අර්ථවත් නවෝත්පාදනයන් හරහා අපි ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් සිටිනවා. මෙම සම්මාන අනාගත බැංකුකරණ අත්දැකීම වර්තමානයේදීම අපගේ පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට අපගේ කණ්ඩායම දක්වන කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. LankaSign ඩිජිටල් අත්සන් ප්‍රවර්ධනය වෙනුවෙන් රන් සම්මානයක් දිනා ගැනීම යනු හුදෙක් තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොවේ; එය අපගේ පාරිභෝගිකයින්ට ඉහළ විශ්වාසයක් සහ ආරක්ෂාවක් ලබා දීමක්. එමගින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු පහසු වනවා වගේම කඩදාසි භාවිතය අවම කිරීම හරහා පරිසරය සුරැකීමට ද අපට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

