December 20, 2024
Fems තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘SLIM Brand Excellence Awards 2024’හි දී ‘Product Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන 3කින් පිදුම් ලබයි
පුවත්

Fems තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘SLIM Brand Excellence Awards 2024’හි දී ‘Product Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන 3කින් පිදුම් ලබයි

Dec 18, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම ඉදිරිගාමී කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, පසුගියදා පැවති ‘SLIM Brand Excellence Awards 2024’ සම්මාන උළෙලේදී ‘Product Brand of the Year’ කාණ්ඩය යටතේ රන් සම්මානයක් හිමි කරගැනීමට සමත් විය. මෙම කාණ්ඩය යටතේ රන් සම්මානයක් දිනාගත් ප්‍රථම කාන්තා සනීපාරක්ෂක සන්නාමය Fems වීම විශේෂත්වයකි. 2023 වසරේ පටන්ම SLIM Brand Excellence සම්මාන උළෙලේදී ජයග්‍රහණ හිමි කර ගැනීමට Fems සමත් වී ඇති අතර, මෙවරත් Fems වෙත ප්‍රධාන පෙළේ සම්මාන 3 ක් හිමි විය.

සියලුම පාරිභෝගික භාණ්ඩ කාණ්ඩ යටතේ රටේ ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් සමග තරග කරමින් ‘Product Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට Fems සමත් විය. මීට අමතරව ‘Innovative Brand of the Year’ සහ ‘CSR Brand of the Year’ යන කාණ්ඩවල රිදී සම්මානද Fems විසින් දිනාගන්නා ලදී.

Hemas Consumer Brands හි අධ්‍යක්ෂ (අලෙවි) ශියාන් ජයවීර මහතා මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “මෙම ගෞරවණීය සම්මාන, කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම බොහෝ විට නොසලකා හරින ලද මෙම නිෂ්පාදන කාණ්ඩය තුළ පැවති බාධාවන් බිඳදැමීම සඳහා Fems දැක්වූ නොසැලෙන කැපවීමට ලැබුණු ඇගයුමක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් ලෙස, කාන්තාවන්ගේ ජීවිතවලට අර්ථවත් බලපෑමක් ඇති කිරීම සඳහා නවෝත්පාදන හඳුන්වා දීම සහ සමාජයීය දැනුවත්භාවය වර්ධනය කිරීම ඔස්සේ අපගේ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීමටත්, මෙම කාණ්ඩයට අදාළ වැදගත් තේමාවන් සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා පෙරමුණ ගැනීමටත් අප බලාපොරොත්තු වනවා.”

අභියෝගකාරී වෙළඳපොළක් තුළ විශිෂ්ට මට්ටමේ කාර්යසාධනයක් පෙන්නුම් කරමින් ‘Product Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට Fems සමත් විය. බොහෝවිට අත්‍යවශ්‍ය නොවන ගණයට අයත් කොට සලකනු ලබන නිෂ්පාදන කාණ්ඩයකට අයත් වුවද, සියලුම අංශ අතින් කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට Fems සමත් වී තිබේ. අදාළ කාණ්ඩය තුළ ඉදිරියටම යන අතර ප්‍රමාණාත්මක අතින් මෙන්ම වටිනාකම් අතින් කැපීපෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමටත්, වාර්ෂිකව ආදායම අතින් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමටත්, අඛණ්ඩව වෙළඳපොළ කොටස, සන්නාම අගය සහ ලාභාදයීත්වය වර්ධනය කරගැනීමටත් Fems සන්නාමයට හැකි වී ඇත. මෙම ජයග්‍රහණ සියල්ල Fems හි මූලික දැක්ම වන, කාන්තාවන්ගේ වෙනස් වන අවශ්‍යතා අවබෝධ කර ගනිමින් සහ ඒවාට විසඳුම් ලබා දෙමින්, කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කිරීම සඳහා පිටුබලය සපයමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ කාන්තා සනීපාරක්ෂක සන්නාමය බවට පත් වීමේ අරමුණ සමග සමපාත වේ.

Fems සන්නාමය නවෝත්පාදනය සහ සමාජයීය වගකීම්සහගතභාවය වෙනුවෙන් දක්වන කැපවීමට මෙම සම්මාන උළෙලේදී ‘Innovative Brand of the Year’ සහ ‘CSR Brand of the Year’ යන කාණ්ඩ යටතේ රිදී සම්මාන හිමි විය. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීමට හුදෙක් නිෂ්පාදන නවෝත්පාදනය පමණක් ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගනිමින්, පාරිභෝගික අභියෝග ජයගැනීම සඳහා පුරෝගාමී පරිපූර්ණ ප්‍රවේශයක් අනුගමනය කිරීම Fems කටයුතු කළේ ය. Fems හි නවෝත්පාදන ආකල්ප සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට විහිදී යයි. කාන්තාවන්ට වඩාත් පහසුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මෙන්ම එය සාමාන්‍ය අවශ්‍යතාවක් බව පෙන්වා දීම සඳහා, පොදු ස්ථානවල සනීපාරක්ෂක තුවා ලබාගත හැකි ඒකක ස්ථාපිත කිරීමට Fems කටයුතු කළේ ය. එමෙන්ම එතෙක් පැවති ගතානුගතික සම්ප්‍රදායක් බිඳදමමින් ප්‍රථම වරට වෙළඳ දැන්වීමකදී ඔසප් රුධිරය රත් පැහැයෙන් දැක්වීමට Fems පියවර ගත් අතර, ගැහැනු දරුවෙකුගේ ප්‍රථම ආර්තවය වැනි ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන මෙන්ම ගැහැනු දරුවන් හා ඔවුන්ගේ පියවරුන් අතර පවතින සංවාදයට ලක් නොවන සමීප සම්බන්ධතාව වැනි කරුණුද Fems විසින් සාකච්ඡාවට බඳුන් කර තිබේ. මෙබඳු විශේෂ අරමුණු මූලික කරගත් නවෝත්පාදනවලට සමගාමීව Fems විසින් ‘Fit to Body’ තාක්ෂණය සහ කාන්දු වීම වැළැක්වීමේ නව ක්‍රමවේදයන් වැනි නිෂ්පාදන මට්ටමේ වැඩිදියුණු කිරීම්ද සිදුකරන ලදි. මේ සියල්ල, පාරිභෝගික අවශ්‍යතා සපුරාලන අතරම සමාජයීය පරිවර්තනයකට මුලපිරීම සඳහා Fems අනුගමනය කරන පුළුල් ප්‍රවේශයට සාක්ෂි දරයි.

මේ වනවිට Fems විසින් ‘HER Foundation’ වැනි පුරෝගාමී වැඩසටහන්ද ක්‍රියාවට නංවා ඇත. මෙම වැඩසටහන ඔසප් දරිද්‍රතාව පිටුදැකීමට උපකාරී වීම, ඔසප් වීම සම්බන්ධ සංවාදයන් සාමාන්‍යකරණය කිරීම තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සහ අභියෝග ජයගන්නා කාන්තාවන් ඇගයීමට ලක්කිරීම යන ප්‍රධාන අංශ තුන මූලික කරගත් වැඩසටහනකි. මේ වනවිට පාසල්, කර්මාන්තශාලා, වතු සහ බන්ධනාගාර ඇතුළු විවිධ ස්ථාන ආවරණය කරමින් අධ්‍යාපනික වැඩසටහන් ඔස්සේ කාන්තාවන් 300,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමට Fems පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන Whatsapp chatbot සේවාවක් ‘Fio’ නමින් හඳුන්වා දීමටද පියවර ගෙන තිබේ. මේ වනවිට Fio සේවාව හරහා සංවාද 30,000 කට අධික සංඛ්‍යාවක් සිදු වී ඇති අතර, මේ නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් සියලුම දෙනාට ඔසප් සෞඛ්‍යය සම්බන්ධ තොරතුරු වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම Fems දිගින් දිගටම නව්‍ය ඩිජිටල් විසඳුම් ඔස්සේ කාන්තා සෞඛ්‍ය අධ්‍යාපනය හා සහයෝගය සම්බන්ධ නව මානයන් සනිටුහන් කරමින් සිටී. Fems හි ප්‍රමුඛතම හඳුන්වාදීමක් වන Fio යෙදුම, කාන්තාවන්ට ආර්තව දිනයන් හඳුන්වා ගැනීමට උපකාරී වන සුවිශේෂී යෙදුමක් වන අතර, එය ශ්‍රී ලංකාවේ භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන එම වර්ගයේ ප්‍රථම ජංගම යෙදුම ලෙස සැලකේ. මෙහි සේවාවන් කිසිදු ගාස්තුවකින් තොරව, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබාගත හැක. මීට අමතරව Fio හරහා කාන්තා සෞඛ්‍ය ගැටලු සඳහා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගැනීම, අධ්‍යාපනික වශයෙන් වැදගත් වන කරුණු දැනගැනීම සහ එකිනෙකා සමග සම්බන්ධ වී අදහස් හුවමාරු කරගැනීම වීම වැනි ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි වේ. එමෙන්ම තම සන්නිවේදන ක්‍රමෝපායට හාස්‍යය ඇතුළත් කිරීම තුළින්, ඔසප් වීම සම්බන්ධ කතාබහ එදිනෙදා සිදුවන සාමාන්‍ය සංවාද මාතෘකාවක් බව සමාජයට පෙන්වා දීම සඳහා නව්‍ය ප්‍රවේශයක් අනුගමනය කිරීමද Fems පියවර ගෙන ඇත. සමාජ මාධ්‍ය තුළ කැපීපෙනෙන පුද්ගලයන් සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීම තුළින්, ඔසප් වීම සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ කාලයක් පුරා පැවති තහංචි බිඳ දමමින්, වැඩි පිරිසකට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයේ අන්තර්ගතයන් ඔස්සේ ඔසප් වීම සම්බන්ධ කතාබහ කාටත් සම්බන්ධ විය හැකි සාමාන්‍ය කතිකාවක් බවට පත්කිරීම Fems මේ වනවිට සමත් වී තිබේ.

‘Excellence in Human Intelligence’ යන තේමාව යටතේ පැවති SLIM Brand Excellence Awards 2024 සම්මාන උළෙල, සමාගම්ව හා ආයතනවලට තම ජයග්‍රහණය කරළියට ගෙන එමින්, අලෙවිකරණ වෘත්තියට සහ රටේ ආර්ථිකයට දක්වන දායකත්වය තවදුරටත් පුළුල් කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.

වර්ධනය හා අරමුණු ඔස්සේ පෙරට යන අතරතුර SLIM Brand Excellence Awards 2024 හිදී හිමි වූ මෙම ඓතිහාසික ජයග්‍රහණය, Fems සන්නාමයේ මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන කාණ්ඩයේ පරිවර්තනීය පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු නිසැක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *