February 5, 2025
Exterminators PLC ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි
පුවත්

Exterminators PLC ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

Dec 18, 2024

මෙරට ප්‍රමුඛතම පළිබෝධ පාලක සමාගම වන Exterminators ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී (බස්නාහිර පළාත්) රන් සම්මානයක් දිනා ගත්තේය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. මූල්‍ය, නව්‍යකරණය, රැකියා උත්පාදනය, ඵලදායීතාව සහ ආයතනික සමාජ වගකීම වැනි අංශවලට අදාළව විශිෂ්ට කර්යසාධනයක් ළඟා කර ගත් ව්‍යාපාර ඇගැයීම එහි අරමුණ වේ. Exterminators විකුණුම් සහ අලෙවි ප්‍රධානි තරිඳු සූරියම්පොළ සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකාරිණී හිරෝෂිමා සේනාධීර සම්මානය ලබා ගත්හ. ඔවුහු 2008දී සහ 2014දී සමාගමට එක් වූහ.

සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබුවේ ව්‍යාපාර ප්‍රමුඛතා, වෙළෙඳපොළ තත්ත්ව, වෙළෙඳපොළ කොටස් සහ පාරිසරික තිරසාරත්වය වැනි නිර්ණායක පදනම් කර ගනිමිනි. මූලික තෝරා ගැනීම්, සම්මුඛ පරීක්ෂණ සහ ක්ෂේත්‍ර චාරිකා යන අදියර තුන යටතේ සම්මානලාභීහු තෝරා ගන්නා ලදහ. මෙය Exterminators දිනූ 67 වැනි සම්මානය වේ. දේශීය සහ කළාපීය වශයෙන් පළිබෝධ පාලන ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් කිරීමට ඔවුන් සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. 1998දී මාලන් ෆෙරෙයිරා ඇරැඹූ Exterminators සමාගම සඳහා වැය කළ මූලික ආයෝජනය රුපියල් 75,000කි. ආරම්භයේදී එය එක් සේවකයෙකු, පළිබෝධ මර්දන දියර ඉසිනයක් සහ යතුරුපැදියකින් සමන්විත විය. ආසියාවේ පළමු ලැයිස්තුගත පළිබෝධ කළමනාකරණ සමාගම වන එය කාබන් දහනය අවම කිරීම සඳහා වන ප්‍රතිපත්ති අනුගමනය කරන අතර සේවය කිරීම සඳහා වඩාත් සුදුසු සමාගමක් ලෙස සහතික ලබා ඇත. ISO 14001, 9001 සහ 45001 තත්ත්ව සහතික ලත් මෙරට පළමු පළිබෝධ කළමනාකරණ සමාගම වන එය ISO 22000 ආහාර සුරක්ෂිතතා සහතික ලත් දෙවන සමාගම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close