eChannelling වෙතින් eMindCare: සියලුම මනෝ වෛද්‍ය හා උපදේශන සේවාවන් දැන් එකම තැනකින්
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling විසින් පසුගියදා මානසික සෞඛ්‍යය සඳහාම වෙන් වුණු සේවාවක් වශයෙන් ‘eMindCare’ හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙබඳු සේවාවක් හඳුන්වා දෙනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බැහැර කරමින්, කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට මනෝ වෛද්‍ය සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආතතිය (Stress), කාංසාව (Anxiety) සහ විශාදය (Depression) වැනි මානසික සෞඛ්‍ය ගැටලු වැඩි වැඩියෙන් වාර්තා වෙමින් පවතී. එහෙත් මේ දක්වා මෙම ගැටලුවලට ප්‍රතිකාර ලබාගැනීමේදී ජනතාවට විවිධ දුෂ්කරතා සහ සමාජයීය අභියෝගවලට මුහුණ දීමට සිදු විය. eMindCare සේවාව දියත් කරන ලද්දේ මෙම ගැටලුවට පිළියමක් වශයෙනි. එමගින් ජනතාවට මනෝ වෛද්‍ය ප්‍රතිකාර හා සුවතා සේවා ලබාගැනීම පහසු කරන අතර, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමද සිදුකරයි.
පුද්ගලයන්ට හා පවුල්වලට මෙන්ම, ශිෂ්‍යයන්, තරුණ වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ අධික මානසික පීඩනයක් යටතේ රාජකාරි කිරීමට සිදු වන ක්ෂේත්‍රවල සේවය කරන්නන් ඇතුළු කාණ්ඩ රැසකට eMindCare තුළින් තමන්ට අවශ්‍ය මනෝ වෛද්‍යමය සේවාවන් පහසුවෙන් ලබාගත හැකි වනු ඇත. එමෙන්ම තම මානසික සෞඛ්‍යය අඛණ්ඩව යහපත් ලෙස පවත්වා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ඒ සඳහා අත්වැලක් වීම මෙහි තවත් අරමුණකි.
eMindCare, සේවාවේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ, හුදෙක් ප්‍රතිකාරවලට සීමා නොවී මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, මානසික සෞඛ්‍යයට ලබා දිය යුතු ප්‍රමුඛත්වය පිළිබඳව නිසි අවබෝධයක් ඇති සමාජයක් ගොඩනැංවීමට උත්සාහ දැරීමය. මෙමගින් වර්තමාන සමාජය තුළ පවතින බරපතළ ගැටලු කිහිපයක්ම අවම කිරීමට හැකි වනු ඇතැයි eChannelling බලාපොරොත්තු වෙයි. මෙබඳු සේවාවක් දියත් කිරීම, වගකීම්සහගත ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු ලෙස රටේ වැඩි පිරිසක් වෙත සෞඛ්‍ය සේවාවන් සමීප කරවමින්, ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා eChannelling දක්වන උනන්දුව හා කැපවීම මැනවින් පිළිබිඹු කරයි.
eChannelling හි නිල වෙබ් අඩවිය වන www.echannelling.com හරහා eMindCare වෙත පිවිසිය හැකි තුළින් ජනතාවට මනෝ වෛද්‍ය සේවාවන්, මනෝ උපදේශනය, යෝගා සහ භාවනා වැඩසටහන් ඇතුළු සේවාවන් රාශියක් ලබාගත හැකි වේ.
මේ ආකාරයට හුදෙක් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට සීමා නොවී යෝගා සහ භාවනා වැඩසටහන් ආදියද මීට ඇතුළත් කර ඇත්තේ ජනතාවට තම අවශ්‍යතා අනුව වඩාත් පරිපූර්ණ සේවාවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. නිසි සුදුසුකම් ලත් ප්‍රවීණ මනෝ වෛද්‍යවරුන්, මනෝ උපදේශකවරුන් සහ සුවතා සේවා වෘත්තිකයන් විශාල පිරිසක් දැනටමත් eMindCare සේවාව සමග එක් වී සිටිති.
ඊට අමතරව සමාජ දුර්මත බැහැර කරමින්, මානසික සෞඛ්‍ය ගැටලු වඩාත් හොඳින් අවබෝධ කරගෙන තම යහපැවැත්ම වැඩිදියුණු කරගැනීමට ජනතාවට උපකාරී වන අධ්‍යාපනික කරුණු හා සම්පත් එකතුවක්ද eMindCare සේවාවට ඇතුළත් කර ඇත. වැඩි පහසුවක් සැලසෙන ආකාරයට මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි සැලසුම් කර ඇති eMindCare සේවාවට eChannelling වෙබ් අඩවිය හරහා මෙන්ම eChannelling ජංගම යෙදුම හරහාද පිවිසිය හැකි වේ.
මේ ආකාරයට සමාජය තුළ පවතින බරපතළ ගැටලුවකට පිළියම් ලබාදීම සඳහා නවීනතම තාක්ෂණය භාවිතා කරමින් eChannelling විසින් හඳුන්වා දෙන ලද eMindCare සේවාව, වර්තමාන සංකීර්ණ ජීවන රටාවන් තුළ ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

