
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ වසර 120ක මතක ආවර්ජන
සියවසකට වැඩි කාලයක් තුළ ලාංකීය සමාජය තුළ ශක්තමත්ව වර්ධනය වූ මෙන්ම ගෞරවණීයත්වයෙන් යුතු ආයතන පවතින්නේ ස්වල්ප ප්‍රමාණයකි. ඒ අතරින් ලංකා ඔටෝ මොබයිල් සංගමයට (AA Ceylon) හිමිවෙන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. දේශීය මෝටර්රථ ඉතිහාසය තුළ සුවිශේෂ මෙන්ම කැපීපෙනෙන කාර්යයන් රැසක් සිදුකළ මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්වූයේ එම සංගමයේ වත්මන් සභාපති ධම්මික ආටිගල මහතා සහ උපදේශක සහ හිටපු ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරි ඇන්ටන් කන්දයියා යන මහත්වරුන් ය.
2019 ජූනි මාසයේ පවත්වනු ලැබූ වාර්ෂික මහා සම්මේලනයේදී ධම්මික ආටිගල මහතා සභාපති ලෙස තේරී පත්වන ලද අතර, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන සහ ආනන්ද දංගල්ල මහතා උප සභාපතිවරුන් ලෙස පත්වූහ. සංගමයේ සාමාජිකයන්ගේ ශක්තිය සහ විවිධත්වය විදහා දක්වමින් එහි විධායක කමිටුව ආචාර්ය විජය කොරෙයා, එස්. වී. ගනේෂ් මහතා ඇතුළු කීර්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්වතව ඇත. මෙම නායකත්වය සහ මගපෙන්වීම තුළ ගෙවුනු කාල වකවානුව තුළ ලංකා ඔටෝ මොබයිල් සංගමයේ කැපීපෙනෙන කාර්යභාරයන් රැසක් සිදු කිරීමට වගේම සංගමයක් විදිහට සුවිශේෂ සමාජ මැදිහත්කාර්යයන් රැසක් සිදුකිරීමටද සමත්ව ඇත.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පැරණිතම මෝටර්රථ සංගමයක් වන ලංකා ඔටෝ මොබයිල් සංගමයේ ආරම්භය සම්බන්ධයෙන් අතීත සිතුවමක් පෙන්වමින් කන්දයියා මහතා ප්‍රකාශ කර සිටියේ, ” ලංකා ඔටෝ මොබයිල් සංගමයේ ආරම්භක රැස්වීම 1904 නොවැම්බර් මාසෙ 02 වන දින පැවැත් වූ බවයි.” ශ්‍රී ලාංකීය මෝටර් රථ ඉතිහාසයේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් සාමාජිකයන් සිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ කරනු ලැබූ මෙම සංගමයේ පළමු සභාපති බවට පත්වූයේ බ්‍රිගේඩියර් ජෙනරාල් ජී. එල්. සී. මනී මහතාය.
මෝටර්රථ සඳහා සහාය සැපයීම වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ මෙම සංගමය ඉතාමත් කෙටි කාලයක් තුළ එහි ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීමට සමත් විය. 1904 වසරේදීම මහනුවර සිට කැගල්ල දක්වා සිය සේවාවන් දියත් කළ අතර, 1927 වසර වන විට පළමු මෝටර් රථ ප්‍රදර්ශනය සංවිධානය කරමින්, නිල ප්‍රකාශනය වන ‘The Record’ දියත් කිරීමට ද සමත් විය. එමෙන්ම 1932 වසරේදී ජිනීවා හි Alliance International de Tourism සමඟ අනුබද්ධ වීම තුළින් ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් අත්කර ගැනීමට සමත් විය.
ලංකා ඔටෝ මොබයිල් සංගමයේ පරිපාලනයේ ඇති විශේෂත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වත්මන් සභාපති ධම්මික ආටිගල මහතා මෙසේ අදහස් දැක්වීය. “ සංගමයේ සභාපති, උප සභාපති ඇතුළු සියලුම විධායක තනතුරු සාමාජිකයින් විසින් වාර්ෂික මහ සභාවේදී පත්කරගැනීමයි සිදුකරන්නේ. ඒ වගේම මේ සියළුමදෙනා ස්වේච්ඡා සේවාවක් විදිහට හැඟීමෙන් සහ කැපවීමෙන් කිසිදු වේතනයක් හෝ වරප්‍රසාදයක් නොලබමින් මෙම කාර්යයේ නිරතවීමත් විශේෂත්වයක්.”
20 වන සියවසේ මුල් කාල වකවානුව තුළ මාර්ග අසළ සවිකර තිබූ දුකරථන ඇමතුම් කුටි වල සිට වර්තමානයේ අති නවීන ඩිජිටල් තාක්ෂණික යුගය දක්වා කාලය තුළ කාලානුරූපීව අනුගත වීමට ලංකා ඔටෝ මොබයිල් සංගමය සමත් විය.”ඒ කාලෙ අද වගේ ගරාජ් තිබුනේ නැහැ, මාර්ග අයියේ තිබුන දුරකථන ඇමතුම් කුටි තමයි අපේ උදව්වට තිබුනේ.” යනුවෙන් සිය අතීත අත්දැකීම් සිහිපත් කරමින් කන්දයියා මහතා ප්‍රකාශ කලේය. මෙලෙස ක්‍රමයෙන් ව්‍යාප්ත වූ මෙම සංගමය කොළඹ නගරය වෙත සපැමිණි අතර, 1931 වසරේදී මෙම සංගමය Automobile Association of Ceylon ලෙස නම් කරනු ලැබීය.
දශක ගණනාවක් පුරා ලංකා ඔටෝ මොබයිල් සංගමය සුවිශේෂී මේනම කැපිපෙනෙන කාර්යයන් රැසක් කිරීමට සමත් විය. මෙයට අමතරව වත්මන් සභාපති ධම්මික ආටිගල මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සංගමය විසින් පහත දැක්වෙන සේවාවන් සැපයීමට සමත්වීමට සුවිශේෂ කාර්යයකි.
- අනුමත ගරාජ් තුළින් සතියේ සෑම දිනකම පැය 24 පුරා මාර්ගාසන්න සහාය සේවා සැපයීම
- ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීම
- රථවාහන අධිකරණ වල නීතිමය සහාය ලබාදීම
- මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්
- ජාතික මාර්ග ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ප්‍රතිපත්ති ප්‍රවර්ධනය
මෙම සංගමයේ කැපවිම සිය සාමාජිකයන්ට පමණක් සීමා වූවක් නොවේ. මෙමඟින් කාලගුණ සහ මාර්ග තදබද තත්ත්වයන් සම්බන්ධ යාවත්කාලීන තොරු මහජනතාවට ලබාදීමට කටයුතු කරන අතර, DIMO සමඟ හවුල්කාරීත්වය තුළින් වෛද්‍ය සත්කාරක කඳවුරු සහ වෘත්තීය රියැදුරු පුහුණුව වැනි ප්‍රජා ව්‍යාපෘති සඳහා ද සිය දායකත්වය ලබාදෙයි. මෙයට අමතරව ජාතික පැරා ඔලිම්පික් කණ්ඩායම සඳහා සහාය දැක්වීමට යොමුවීම එම සංගමයේ පුළුල් වූ සමාජ කාර්යය සඳහා ඇති මනා නිදර්ශනයකි.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති ධම්මික ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ, “ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කර ඇති මෙම සමාගම, මව් ආයතනයක් නොමැතිව, ස්වාධීනව, ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගනිමින් සාර්ථක ගමනක් ඒ මට අපට හැකි වී තිබෙනවා. අපට මේ ශක්තිය ලැබී තිබෙන්නේ අපේ සාමාජිකයන්ගෙන් කියන එක විශේෂයෙන් සඳහන් කළ යුතුයි.”
ජාත්‍යන්තරව මෙම සංගමය විසින් ලොව ප්‍රමුඛ මෝටර් රථ අධිකාරිය වන Fédération Internationale de l’Automobile (FIA) සමඟ අනුබද්ධව ක්‍රියාත්මක වේ. තවද දේශීයව රථවාහන පොලිස් ප්‍රධානියා සමඟ මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ (NCRS) ස්ථිර සාමාජිකත්වය දරයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා මාර්ග රථවාහන තදබදය සහ මාර්ග අනතුරු වර්ධනය වීමේ තත්ත්වක් තුළ, ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය, මාර්ග ආරක්ෂාව වර්ධනය කිරීමේ කාර්යයේ සුවිසල් කාර්යභාරයක් සිදුකරයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් සභාපති ධම්මික ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ, “සෑම වසරකම අපි එක් ප්‍රධාන දැනුවත් කිරීමේ වැඩසටහන් හෝ ක්‍රියාත්මක කිරීමට යොමුවෙනවා.” යනුවෙනි. මේ යටතේ යතුරුපැදි ධාවකයින් සහ පසුපස ගමන් කරන්නන් සඳහා හෙල්මට් පැළඳීම, ළමා සුරක්ෂිතතා නීති ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලබාදීම වැනි වැඩසටහන් ඇතුලත් වේ.
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය මගින්, පසුගිය දශකයක පමණ කාලයක් පුරා FIA සහ එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව මාර්ග ආරක්ෂණය, මාර්ග නීනි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, වඩාත් සාර්ථක ආකාරයෙන් මාර්ග නීති ක්‍රියාත්මක වීම සඳහා රියැදුරන් පුහුණු කිරීම ආදිය තුළින් මාර්ග අනතුරු සහ මරණ අවම කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දී ඇත. මෙහිදී සභාපති ධම්මික ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ, “ අපි FIA වෙත අපගේ යෝජනාවන් ඉදිරිපත් කරනවා, ඔවුන් අපට මෙම කාර්යයන් සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සහාය ලබාදෙනවා පමණක් නොවේ, අපේ වැඩසටහන් සම්බන්ධ තොරතුරු අනෙකුත් රටවල් සමඟද අධ්‍යයන කාර්යයන් සඳහා ලබාදෙනවා. මෙය සංගමයක් විදිහට අපට විශාල ගෞරවයක් ගෙනදෙන්නක්.” තවද මෑතකාලීන ශ්‍රී ලංකාව පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය, ඩොලර් අර්බුධය වැනි තත්ත්වයන් මුහුණ දුන්නේය. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය වඩාත් සාර්ථක ආකාරයෙන් සිය පැවැත්ම තහවුරු කර ගැනීමට සමත්විමද කැපීපෙනෙන කරුණකි.
“කෝවිඩ් ව්‍යසනයෙන් පසුව, බොහෝ ආයතන වසා දැමීමට කටයුතු කළත්, ලංකා ඔටෝමොබයිල් සංගමය විදිහට අපි අපගේ සේවා වැඩිදියුණු කර, ජාත්‍යන්තර තලයේ පහසුකම් වර්ධනය කිරීමට කටයුතු කළා.” යනුවෙන් සභාපති ධමිම්ක ආටිගල මහතා අප සමඟ ප්‍රකාශකර සිටියේ සිය ආයතනය සතු වගකීම සම්පූර්ණයෙන්ම ඉටුකිරීමේ තෘප්තිය අත්විඳිමිනි. මෙහිදී අදහස් දක්වමින් කන්දයියා මහතා ප්‍රකාශ කර සිටියේ, “ FIA ආයතනය පවා අපි ධෛර්වන්තයින් සඳහා ආදර්ශයක් ලෙස ඉහළ පිළිගැනීමකට ලක්කලා.” යනුවෙනි. වර්තමාන ජනාධිපති ධම්මික ආටිගල මහතාගේ නායකත්වය යටතේ, සංගමය විසින්, වාහන ස්කැන් කිරීමේ නව තාක්ෂණයන් හඳුන්වාදීම, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර සේවය වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර සමාජ සමඟ හවුල්කාරිත්වයන් පුළුල් කළ අතර, AutoWheel Restaurant and Café දියත්කිරීම ඇතුළුව සාමාජික පහසුකම් නවීකරණය කර ඇත.
මෙම දිගු ගමන ගැන මෙනෙහි කරමින් කන්දයියා මහතා ප්‍රකාශ කර සිටියේ, “ මම අපගේ සාමාජිකයන්ගේ සහ විධායක කමිටුවේ ප්‍රාමාණික දායකත්වය සහ කැපවීම සම්බන්ධයෙන් ගෞරව කරනවා. ඒ වගේම වත්මන් සභාපතිතුමන් යටතේ මේ සංගමය ලැබූ දියුණුව සහ අත්කරගත් කීර්තියද ප්‍රශංසනීයයි.” යනුවෙනි. තවද මෙම සංගමයේ වත්මන් වර්ධනය සහ ස්වරූපය හැඩගැස්වීම සඳහා තිලක් ද සොයිසා, රොනී අබේසිංහ, ආචාර්ය ලක්ෂ්මන් වීරසේන වැනි මහත්වරුන්ගේ දයාකත්වය විශාල වශයෙන් දායක වී තිබෙනවා.