September 12, 2025
DFCC බැංකුව සහ WWCT, මෙරට වෙසෙන කොටියන් රැකගනිමින් ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා අත්වැල් බැඳගනී
පුවත්

DFCC බැංකුව සහ WWCT, මෙරට වෙසෙන කොටියන් රැකගනිමින් ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා අත්වැල් බැඳගනී

Sep 9, 2025
DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and Wildlife Conservation Trust (WWCT) සමඟ වසර තුනක සහයෝගිතාවක් නිවේදනය කර ඇත.

මෙම සහයෝගිතාව කොටියා ඡත්‍ර විශේෂයක් (umbrella species) බවට වන අවබෝධය මත පදනම් වන අතර කොටියා ආරක්ෂා කිරීම සමස්ත පරිසර පද්ධතියේ මෙන්ම එහි වාසස්ථාන බෙදාහදා ගන්නා අසංඛ්‍යාත අනෙකුත් සත්ව විශේෂයන්ගේද සුරක්ෂිතතාව තහවුරු කරයි. කොටි සංරක්ෂණයට සහයෝගය දීමෙන් DFCC බැංකුව සහ WWCT, මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වනජීවීන්ට පාරිසරික වෙනස්කම්වලට ඔරොත්තුදීමේ හැකියාව ඇතිකරවීම සහ මිනිස් ප්‍රජාවන් හා වනජීවීන් අතර තිරසාර සහජීවනයක් සඳහා වන පුළුල් කැපවීමක් සිදුකරයි.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය: “පරිසර සංරක්ෂණය තිරසාර අනාගතයක් සඳහා අපගේ දැක්මෙහි අනිවාර්ය අංගයකි. අපගේ අවධානය යොමු වී ඇත්තේ සොබාදහම සුරැකීම පමණක් නොව, ප්‍රජාවන්ට පරිසරය සමඟ සමබරව ජීවත්වීමට සහ සිය වැඩකටයුතු කිරීමට හැකි බව සහතික කිරීමයි. මෙම සහයෝගිතාව හරහා, අපි දැනුවත් කිරීම්, මාර්ගෝපදේශනය සහ ගැටුම් අවම කරන ප්‍රායෝගික විසඳුම් සඳහා මුල්තැන ලබාදෙමින් මිනිස් ප්‍රජාවන් සහ වනජීවීන්ට කල් පවත්නා වටිනාකමක් ලබා දෙන්නෙමු.”

WWCT හි සම-ආරම්භික සහ කළමනාකාර භාරකාර පරිසරවේදිනී අංජලී වොට්සන් මහත්මිය මෙසේ පැවසුවාය: “කොටියා ශ්‍රී ලංකාවේ සිටින ඉහලම විලෝපිකයා වන අතර, කොටියාගේ අඛණ්ඩ පැවැත්ම යනු සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා වීමකි. WWCT හි අපගේ පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ කොටියා කෙරෙහි අවධානය යොමු කිරීම භූ දර්ශන සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වේගවත් හා ඵලදායී මාර්ගයක් සපයන බවයි. මෙම සහයෝගිතාව, අපට මෙම දැනුම මහජනතාව වෙත ගෙන යාමට ප්‍රවේශය සපයන අතර, වනජීවීන් සහ පරිසර පද්ධති සංරක්ෂණය දත්ත මතම පදනම් වූවක් පමණක් නොවන වගත්, එයට සියල්ලන්ම අන්තර්ගත වන බව සහතික කරයි.”

මෙම සහයෝගිතාව මගින් කොටියන්ගේ පාරිසරික පැවැත්ම, වෙසෙන පරිසර පද්ධතීන්, කොටියන් ඉලක්ක කරගත් මර උගුල් (snares) සහ දඩයම් ක්‍රම හේතුවෙන් ඇති වන අන්තරායන් ඉස්මතු කරමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. ඒ සමඟම, කොටි මරණ අඩු කිරීම සඳහා අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රජා මූලික මැදිහත්වීම් නියමු ව්‍යාපෘති ලෙස දියත් කරනු ඇත.

පසුගිය දශක දෙක තුළ, WWCT ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ මත පදනම් වූ සංරක්ෂණ සංවිධානයක් ලෙස ස්ථාපිත වී ඇත. එහි කොටි ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ කොටි ගහනය පිළිබඳ පුළුල්ම දත්ත සමූහයක් යාවත්කාලීන කර ඇති අතර, මිනිස් ප්‍රජාවන්-වනජීවී සහජීවනය පිළිබඳව පුරෝගාමී වෙමින් ජාතික සංරක්ෂණ ප්‍රතිපත්ති සඳහා සෘජුවම බලපෑම් කර ඇත. මෙම සහයෝගිතාව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වනජීවීන්ට දේශගුණික වෙනස්කම්වලට  ඔරොත්තුදීමේ හැකියාව සහ ප්‍රජා මට්ටමේ සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙන DFCC බැංකුවේ තිරසාරත්ව රාමුව (Sustainability Framework) යටතට අයත්වේ. එය මෙරටට තිරසාර අනාගතයක් හැඩගැස්වීමේ අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට DFCC බැංකුවේ ඇති දිගුකාලීන කැපවීම පිළිබිඹු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close