
අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ අනාගතය හැඩගස්වන්නට ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් සංවිධාන කළ ‘Deakin Week Sri Lanka 2025’ සාර්ථකව නිමා වේ
ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් වසර දෙකකට වරක් පවත්වනු ලබන Deakin Week Sri Lanka 2025 වැඩසටහන් මාලාව (අගෝස්තු 19 සිට 21 දක්වා) ඉතා සාර්ථක අන්දමින් පසුගිය දා නිමාවට පත් විය. අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය නියෝජිතයන් ඇතුළු 300කට අධික ආරාධිත පිරිසක් මේ සඳහා සහභාගී වූහ. Deakin යනු තාරුණ්‍යයේ චින්තනය ඔප් නංවන්නට කැපවූ සරසවියක් බව තහවුරු කරන්නටත්, එහි අධ්‍යයන විශිෂ්ටත්වය, පර්යේෂණ නවෝත්පාදන හා රටේ අධ්‍යාපනික දියුණුව උදෙසා දක්වන කැපවීම පෙන්නුම් කරන්නටත් මෙම සුවිශේෂී වැඩසටහන මනා පිටිවහලක් වූ බව සඳහන් කළ හැකිය.
Deakin Week Sri Lanka 2025 වැඩසටහන සඳහා, අධ්‍යාපනඥයන් සහ අධ්‍යයන වෘත්තිකයන්, පාසැල් ප්‍රධානීන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් හා විවිධ ආයතන නියෝජනය කළ පිරිස් මෙන්ම ආයතනික හවුල්කරුවන් හා අනාගත Deakin සිසුන් හා දෙමාපියන් රැසක් සම්බන්ධ වූ අතර, විවිධ ක්‍රියාකාරකම් රැසකින් මෙය සමන්විත විය.
2025 අගෝස්තු 19 වන දින සමාරම්භක උත්සවයකින් සතිය ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලයේ සහ ලාංකික හවුල්කාර ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් රැසක් සහභාගී විය. මෙදින සිදු වූ තවත් විශේෂ සිදුවීමක් නම්, නවෝත්පාදනය පෙරටු කරගත් Deakin ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සාර්ථක හවුල්කාරීත්වයේ දස වන සංවත්සරය සැමරීමයි.
මෙම විචිත්‍රවත් අවස්ථාවට සුවිශේෂී කථිකයන් පිරිසක් ද සම්බන්ධ විය. Deakin International හි නියෝජ්‍ය උපකුලපති සහ උප සභාපති ජෝන් මොලනි, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පරිගණක පීඨයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම සතියේ තවත් කැපී පෙනෙන අංගයක් වූයේ Deakin විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පාසලේ ව්‍යවහාරික කෘත්‍රිම බුද්ධිය (Applied AI) පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ව්‍යවහාරික කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලා අධ්‍යක්ෂ ආචාර්ය බහරේ නකිසා විසින් පවත්වන ලද කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රධාන දේශනයයි. මෙම දේශනයේදී AI තාක්ෂණයේ නවතම වර්ධනයන් සහ විවිධ අංශවල සිදු කෙරී ඇති භාවිතයන් පිළිබඳව ද අවබෝධයක් ලබා දෙන ලදී.
‘Future Ready: Embracing Technology for Tomorrow’s Challenges’ යන මාතෘකාව යටතේ හෙට දවසේ අභියෝග සඳහා තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ විශේෂඥ මඩුල්ල විසින් දේශනය පවත්වන ලද අතර, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් පරිවර්තනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නූතන අදහස් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණ.
මෙම සතිය පුරාම, විවිධ සංසද මඟින් රැකියා නියුක්තිය පිළිබඳ නව ප්‍රවණතා, උපාධි සඳහා ඇති අවස්ථාවන් හා වර්ධනය වන ක්ෂේත්‍රයේ අනාගත ඉලක්ක පිළිබඳ දැනුවත් කරන ලද අතර මේ සඳහා විවිධ අධ්‍යයන ආයතන හා සේවා යෝජකයන් ද සම්බන්ධ විය. අධ්‍යයන හා කර්මාන්ත ඉලක්ක කරගත් වැඩසටහන් මාලාව මඟින් හෙද සේවය, කෘත්‍රිම බුද්ධිය, ජෛව වෛද්‍ය විද්‍යාව, මනෝවිද්‍යාව, මුල් ළමාවිය අධ්‍යාපනය හා ව්‍යාපාර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් විසින් සාකච්ඡා වට කිහිපයක් මෙහෙයවනු ලැබීය. මෙහිදී ප්‍රධාන වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් ආවරණයක් ද සිදු කෙරිණ.
සහභාගී වූ විවිධ කණ්ඩායම් සඳහා විශේෂිත ක්‍රියාකාරී වැඩමුළු ද සංවිධාන කොට තිබිණ. මෙමඟින් වෘත්තීය සංවර්ධනය සඳහා අවශ්‍ය දැනුම ලබා දීම මෙන්ම විවිධ වෘත්තීය පසුබිම් ඇති ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කරගන්නට ද පැමිණි පිරිසට අවස්ථාව හිමි විය.
මෙම වැඩසටහන් සතිය තුළ අන්‍යොන්‍ය සම්බන්ධතා ජාලයන් වර්ධනය කරගැනීමට පුළුල් අවස්ථාවක් සලසා දී තිබූ අතර, සම්බන්ධ වූ පිරිසට Deakin පීඨ සාමාජිකයන්, කීර්තිමත් ආදි විද්‍යාර්ථින් හා ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමේ අගනා අවස්ථාව ද හිමි විය. දැනට පවතින හවුල්කාරීත්වයන් සවිමත් කිරීමත්, නව හවුල්කාරීත්වයන් ගොඩනැඟීමත් ඉලක්ක කරගනිමින් සංවිධාන කෙරුණු මෙම ක්‍රියාකාරී වැඩසටහනේ තවත් එක් ප්‍රධාන අරමුණක් වූයේ ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලාංකික අධ්‍යාපන, ව්‍යාපාරික ප්‍රජාවන්ට ප්‍රතිලාභ සලසා දීමයි.