August 15, 2025
ශ්‍රී ලංකාවේ දුම්කොල සඳහා වන ගැටළුකාරී බදු ප්‍රතිපත්ති
පුවත්

ශ්‍රී ලංකාවේ දුම්කොල සඳහා වන ගැටළුකාරී බදු ප්‍රතිපත්ති

Jul 1, 2025

නීත්‍යානුකූලව දුම්වැටි නිෂ්පාදනය කරන ලංකා දුම්කොළ සමාගමේ 2024 වසරට අදාළ මූල්‍ය වාර්තාව පසුගියදා නිකුත් වූ අතර මෙම ලේඛනය හුදෙක්ම ව්‍යාපාරික කාර්ය සාධනයට අමතරව වැදගත් කරුණක් මතු කර තිබුණි. ඒ අධික බදු බර නිසා හැකිලීයන නීත්‍යානුකූල දුම්වැටි කර්මාන්තයෙන් රජය අපේක්ෂා කරන ආදායම ඉදිරියේදීත් හිමිකර ගත හැකි ද යන්නයි. මේ ප්‍රශ්නය ඔවුන් විසින් මතු කරන්නේ රාජ්‍ය බදු ආදායමෙන් 6%ක ප්‍රමාණයක්, නීත්‍යානුකුල දුම්වැටි මත අයකරන බදුවලින් ලබා ගන්නා පසුබිමක් තුළයි.

2024 සහ 2025 වසර තුල ඉහළ නංවන ලද දුම්කොළ හා මධ්‍යසාර බදු ප්‍රතිශතය රටේ උද්ධමනයට වඩා 4%ක වැඩිවීමක් බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පසුගියදා සඳහන් කර තිබුණි. මෙම වාර්ෂික මූල්‍ය වාර්තාවට අනුව ලංකා දුම්කොළ සමාගමේ 2025 පලමු කාර්තුවේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 6.7ක් තෙක් පහළ වැටුණු අතර මේ තත්ත්වය ලංකා දුම්කොළ සමාගමෙන් රජය අයකරනු ලබන බදු ආදායමටද දැඩි බලපෑමක් එල්ල කර ඇත. ලංකා දුම්කොළ සමාගමේ ශුද්ධ ආදායමේ අඩුවීම  පිළිබඳව සමාජය තුළ කථාබහක් ඇතිව තිබුණත්, 2025 වසරේ පළමු කාර්තුව තුළ කැපී පෙනෙන බදු ආදායමක් රජයට උපයා දීමට ලංකා දුම්කොළ සමාගමට හැකිව තිබේ. 2025 වසරේ පළමු කාර්තුව තුල රජයේ බදු ආදායම සඳහා වන දායකත්වය පෙර වසරට සාපේක්ෂව 5%කින් ඉහළ නංවමින් රුපියල් බිලියන 34.1ක් ලබා දී ඇත. මෙම මුදල ඒම වසරේ සමාගමේ ශුද්ධ  ලාභය මෙන් පස්ගුණයක් පමණ වෙයි.

2024 ලංකා දුම්කොළ සමාගමේ වාර්තාව අනුව ගෘහස්ත දුම්වැටි පරිභෝජනයෙහි පරිමාව 2023 වසරට සාපේක්ෂව 2024 වසර තුළ බිලියන 1.91 දක්වා පහත වැටී ඇති අතර මෙය 17%ක පහත  බැසීමකි. එම වාර්ෂික වාර්තාවේම සඳහන් වන ආකාරයට අනීතිකව රට තුළට ගෙන ආ දුම්වැටි සංඛ්‍යාව දුම්වැටි බිලියන 1.2 දක්වා වැඩිවීමක් පෙන්නුම් කරන අතර එය 2024 වසරේ සමස්ත දුම්වැටි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 40%ක ප්‍රමාණයකි. මෙම තත්ත්වය තුළ නීත්‍යානුකූල දුම්වැටි සඳහා වන වෙළෙඳපොල ඉල්ලුමෙහි අඩුවීම කැපී පෙනෙන අතර එය නීත්‍යානුකුල දුම්වැටි නිෂ්පාදනයෙහි දිගුකාලීන පැවැත්ම සහ තිරසර බව කෙරෙහි අහිතිකර ලෙස බලපානු ඇත. එමෙන්ම  එතුළින් නිත්‍යානුකූල දුම්වැටි නිෂ්පාදනය හරහා රජයට ලැබෙන බදු ආදායමද නිසැකවම අඩුවනු ඇත.

අනීතික දුම්වැටි අලෙවිය හරහා පැන නගින අභියෝගයන් මෙන්ම බීඩි පාරිභෝගිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමද නීත්‍යානුකූල දුම්වැටි වෙළෙඳපොල වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. මේ තත්ත්වයට හේතුව වී තිබෙන්නේ බීඩි මිල තත්ත්වයයි. 2025 අප්‍රේල් මාසයේදී බීඩි සඳහා වන බද්ද රුපියල් 2 සිට 3 දක්වා වැඩි කරන ලදී. මේ තත්ත්වය සුබවාදී පියවරක ආරම්භය වූවද බීඩි අලෙවියට සාපේක්ෂව මෙම බද්ද මීට වඩා වැඩි කළ යුතු බවට තර්කයක් නැත. බීඩි කර්මාන්තයෙන් බදු ආදායම් ඉපැයීමට පියවර ගැනීම රජය විසින් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් වන අතර බීඩි කර්මාන්තය පිළිගත් ප්‍රමිතිගත නිෂ්පාදනයක් නොවන බැවින් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම, දඩ මුදල් අයකිරීම වැනි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා මෙම කර්මාන්තය නියාමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් ව පවතී. මේ වන විට බීඩියක් රුපියල් 4 ත් 5 ත්  අතර මුදලකට සිල්ලර වෙළෙඳ හිමියාට ලැබෙන අතර මෙය බීඩි නිෂ්පාදකයන් රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි  නොගෙවන බව පිළිබිඹු වන කදිම සාක්ෂියකි.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් තුළින් සෞඛ්‍ය ගැටලු මතු වන බව අප සැම දන්නා කරුණක් වන නමුදු නිසි නියාමනයක් හෝ ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරන බීඩි මගින් සිදු වන හානිය ඊටත් වඩා අතිමහත්ය. බීඩි නිෂ්පාදකයන්ගෙන් බහුතරය මෙරට දුම්වැටි සඳහා වන සෞඛ්‍යමය නියාමනයන් නිසි පරිදි පිළිනොපදින අතර මෙම නිෂ්පාදනයන්හි මිල ඉතා අඩු බැවින් මෙරට තරුණ ප්‍රජාව අතර බීඩි පරිභෝජනය බෙහෙවින් ජනප්‍රිය ව තිබේ. මෙම නිෂ්පාදන ක්ෂේත්‍රය විධිමත් කරමින් බදු ආදායම් හිමිකර ගැනීම පමණක් නොව නිදහස් වෙළෙඳපොල සීමාවන් ද මෙම කර්මාන්තයට පැනවීම අනිවාර්යයයෙන්  සිදු කළ යුතුය.

අනීතිකව රට තුලට ගෙන එන දුම්වැටි සඳහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අත්යාවශ්ය කරුණක් වන අතර ගුවන් තොටුපල සහ වරාය ආශ්‍රිත වැටලීම් වැඩි කර මෙම නිෂ්පාදනයන් රට තුලට  පැමිණීම හැකි තාක් අවම කළ යුතුව ඇත.

රජයේ බදු ආදායම් ඉලක්ක කඩිනමින් සපුරාගැනීම සඳහා අනීතික දුම්වැටි සහ බීඩි සඳහා පනවා ඇති නීති රෙගුලාසි දැඩි කිරීම මේ අවස්ථාවේදී නොපමාව සිදු කළ යුතුය. එමෙන්ම නීත්‍යානුකූල දුම්වැටි සඳහා නිරතුරුව සිදු කරන බදු ඉහල නැංවීම තුළින් ඇති වන මිල ඉහල යෑම නීත්‍යානුකූල නොවන දුම්වැටි මිලදී ගැනීමට පාරිභෝගිකයින් පෙළඹවීමක් වන අතර බීඩි භාවිතය වැඩි කිරීමටත් ඉහල උත්තේජනයක් සපයන බව ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අවබෝධ කර ගත යුතුව ඇත.

එබැවින් ඉදිරියේදී දුම්වැටි කර්මාන්තය සඳහා වන රජයේ බදු ප්‍රතිපත්ති සාධාරණ විය යුතු අතර නීත්‍යනුකූල දුම්වැටි කර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු කළ යුතුය. වෙළෙඳපොලේ පවතින වෙනත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් හා තරඟ කිරීමේදී එම සියලු නිෂ්පාදනයන් සඳහා සාධාරණ වෙළෙඳපොළ තරඟයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නියාමනය සිදු කිරීම ද මෙහිදී අවධාරණය කිරීම අදහස් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close