කොමර්ෂල් බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘ජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස ජනතාව විසින් තෝරා පත් කරගනියි
ශ්‍රී ලංකා ජනතාවගෙන් අඛණ්ඩව ලැබෙන ජනාදරය, විශ්වාසය හා නොසැලෙන සහයෝගය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී සිව්වන වසරටත් ‘මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස ගෞරවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය පෞද්ගලික අංශයේ බැංකුව ලෙස සම්මාන ලැබීය.
ප්‍රමුඛ පෙළේ ගෝලීය සමීක්ෂණ ආයතනයක් වන කැන්ටාර් හි ස්වාධීන පර්යේෂණයක් මත පදනම්ව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ඉදිරිපත් කරන මෙම ජනතා සම්මාන, මෙරට ආයතනික දින දර්ශනයේ වඩාත්ම අපේක්ෂිත අවස්ථාවක් බවට පත් වී ඇත. විනිශ්චය මණ්ඩලයකින් තොරව පාරිභෝගික ඡන්දවලින් ම පමණක් සුවිශේෂී ලෙස තීරණය වන මෙම සම්මාන දැඩි ජාතික සමීක්ෂණ සහ විශ්ලේෂණ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලාංකිකයින්ගේ හදවත්වලට සමීප සන්නාම හා පෞරුෂයන් හඳුනා ගනියි.
මෙම සම්මානය අඛණ්ඩව සිව්වන වසරටත් හිමිවීම තුළින් පිළිබිඹු වන්නේ කොමර්ෂල් බැංකුවේ සන්නාමයට දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ගේ කල් පවතින විශ්වාසය සහ බැඳීම මෙන්ම බැංකුවේ පාරිභෝගික කේන්ද්‍රීය උපාය මාර්ගවල ශක්තිය බව බැංකුව පවසයි. වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවන්ට නිසි ලෙස හා කාලෝචිතව ප්‍රතිචාර දක්වමින් විශිෂ්ට සේවාවන් සහ නව්‍ය බැංකු අත්දැකීම් නිරන්තරයෙන් ලබා දීමට බැංකුවට ඇති හැකියාව මෙම සම්මානය මගින් තවදුරටත් අවධාරණය කෙරේ.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ මෙරට වඩාත් ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව මේ වනවිට මිලියන හතරකට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ණය ලබා දීම ඇතුළු ප්‍රධාන අංශවලදී පෙරමුණ ගෙන සිටියි. සඵලදායී තේමාත්මක වැඩසටහන්, බහුභාෂා සන්නිවේදනයන් සහ ශක්තිමත් ඩිජිටල් පැවැත්මක් හරහා සන්නාමය ගොඩනැගීම වෙනුවෙන් බැංකුව සිදුකළ තිරසර ආයෝජන හරහා රට පුරා විහිදී සිටින විවිධ පාරිභෝගික කොටස් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට බැංකුවට හැකි වී තිබේ.
කලාපීය හා ජාතික මට්ටමින් උපායමාර්ගික අනුග්‍රාහකත්වයන් සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වයන් හරහා ජනතාවට තම සහය ලබා දෙන අතරතුර එහි ආයතනික වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකා හරහා ද ප්‍රමුඛතම සහභාගීත්වයක් ලබා දෙමින් ඩිජිටල් වේදිකා හරහා තම ආධිපත්‍ය පැතිරවීමට බැංකුවට හැකි වී තිබේ. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සමඟ හදවතින්ම සම්බන්ධ වූ සන්නාමයක් ලෙස බැංකුවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට, පාරිභෝගික සහභාගීත්වය උදෙසා බැංකුව දියත් කළ සාකල්‍ය ප්‍රවේශය මනා පිටුවහලක් විය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

