විශේෂ වරප්‍රසාද රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව හා UnionPay වෙතින් SplendorPlus කාඩ්පත දැන් ශ්‍රී ලාංකික සංචාරකයන්ට
පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් UnionPay SplendorPlus කාඩ්පත එළිදක්වා තිබේ. මෙම නවතම කාඩ්පත විශේෂයෙන් ම චීනයට ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට, බාධාවකින් තොරව පිරිවැය-කාර්යක්ෂම වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය වූවකි.
UnionPay International (UPI) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා නිර්මාණය වූ මෙම නව කාඩ්පත මගින්, මෙරට නව්‍ය හා අගය එකතු කළ ගෙවීම් විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය වඩාත් ශක්තිමත් කරයි. මෙය එළිදැක්වෙන්නේ චීනය, ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත් වැදගත් ව්‍යාපාරික හා විවේකී ගමනාන්තයක් බවට සීඝ්‍රයෙන් පත්වෙමින් සිටින කාලවකවානුවක ය.
UnionPay SplendorPlus කාඩ්පත් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් එහි කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප්‍රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය සිවසුබ්‍රමනියම් ගනේෂන් මහතා සහභාගී වූහ. China UnionPay සහ UnionPay International හි සභාපති දොන්ග් ජුන්ෆෙන්ග් මහතා විසින් UnionPay නියෝජිත පිරිසෙහි මූලිකත්වය ගත් අතර,China UnionPay හි වෙළඳ සේවා ගෙවීම් සමාගමේ සභාපති ෂාඕ කුඕයි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ UPI නිළධාරීන් පිරිසක් සහ UnionPay International හි අග්නිදිග ආසියාව සඳහා සාමාන්‍යාධිකාරී කායි හුයිමින්ග් මහතා එම පිරිස අතර විය.
මෙම හවුල්කාරීත්වයේ සන්දර්භය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, SplendorPlus කාඩ්පත දියත් කිරීම මගින් පෙන්නුම් කරන්නේ වේගයෙන් ගෝලීයකරණය වන පාරිභෝගික පදනමකට උසස් තත්ත්වයේ ගෙවීම් විසඳුම් ලබා දීමට බැංකුවේ ඇති පෙර සූදානමයි. නව කාඩ්පත මගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට සේවා සැපයීම වෙනුවෙන් මෙම ආයතන දෙකේ ම දිගුකාලීන කැපවීම පිළිබිඹු වන බව ඔහු තවදුරටත් සඳහන් කලේය.“මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ කාඩ්පත් වෙළඳපලේ ඉදිරියෙන් ම සිටින කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය තව තවත් ඉහළ නංවයි. දෛනික ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ප්‍රමුඛ ස්ථානය ගන්නා චීනය වැනි කලාපයකට ගමන් කරන විට අපගේ කාඩ්පත් හිමියන්ට සැබෑ මූල්‍ය වාසි ලබා දීම වෙනුවෙන් මෙම SplendorPlus කාඩ්පත නිර්මාණය කළෙමු. එම කාඩ්පත විශ්වාසදායක සහ ප්‍රතිඵලදායක වූ සංචාරක සහකරුවෙකු ලෙස සේවය කරනු ඇති අතර සෑම මිලදී ගැනීමක් ම සරල, ආරක්ෂිත සහ වඩාත් ම ලාභදායී වනු ඇති බව අපට විශ්වාසයි.”
UnionPay සමාගමේ සභාපති දොන්ග් ජුන්ෆෙන්ග් මහතාගේ කොළඹ සංචාරය අතරතුරදී මෙම ගිවිසුමට එළඹ ඇති අතර එම අවස්ථාව මගින්, UnionPay International විසින් තම ව්‍යාප්තිය සහ නව නිෂ්පාදන හඳුන්වා දීම සඳහා උපායමාර්ගිකව වැදගත් වූ සංධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අරමුණු කරන බව පිළිබිඹු කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

