November 19, 2025
කොමර්ෂල් බැංකුව අධ්‍යාපනික ණය පහසුකම් පුළුල් කිරීමට APIITශ්‍රී ලංකා සමඟ හවුල්වෙයි
පුවත්

කොමර්ෂල් බැංකුව අධ්‍යාපනික ණය පහසුකම් පුළුල් කිරීමට APIITශ්‍රී ලංකා සමඟ හවුල්වෙයි

Oct 31, 2025

සිසු දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම උදෙසා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම විදහා දක්වමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව, ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය (APIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත.

මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් APIIT හි සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අභිලාශයන් ඉටුකර ගැනීම වෙනුවෙන් ආකර්ශනීය සහ දැරිය හැකි ණය පහසුකම් ලබා දෙනු ඇත. බැංකුවේ අධ්‍යාපනික ණය හරහා රුපියල් මිලියන 10ක උපරිමයකට යටත් ව පාඨමාලා ගාස්තුවෙන් 90%ක් දක්වා ආවරණය කරන අතර විකුණුම් මිලෙන් 100%ක් දක්වා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා රුපියල් මිලියනයක් දක්වා ණය පහසුකම් ලබා දේ. තවද, වසර දෙකක් දක්වා සහන කාලයක් සහ ලියකියවිලි ගාස්තු සඳහා 50%ක් දක්වා නිදහස් කිරීමක් ද සිසුන්හට ලැබෙන බව බැංකුව පවසයි.

APIIT ආයතනය පරිගණක, ව්‍යාපාර, නීතිය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකි. එය එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලය සහ මැලේසියාවේ ආසියා පැසිෆික් තාක්ෂණ හා නවෝත්පාදන විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධිත ය.

මෙම සහයෝගීතාවය තුළින් සිසුන්ට තමන් තෝරාගත් අධ්‍යන ක්ෂේත්‍ර තුළ තම අධ්‍යාපන කටයුතු මූල්‍යමය අතින් වඩාත් නම්‍යශීලීව ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් මනා කුසලතාවයන්ගෙන් හෙබි ශ්‍රම බලකායක් අනාගතයට බිහි කිරීමට දායක වනු ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close