September 12, 2025
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පුද්ගලික අංශයේ පළමු බැංකුව ලෙස දෙවන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවට ඓතිහාසික සංධිස්ථානයක්
පුවත්

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පුද්ගලික අංශයේ පළමු බැංකුව ලෙස දෙවන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවට ඓතිහාසික සංධිස්ථානයක්

Aug 20, 2025

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජූනි 30වන දායින් අවසන් වූ මාස 6 තුල සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි සලකා බලන කාල සීමාව අවසානයේ සමූහයේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 3.13 ක් වූ අතර කොමර්ෂල් බැංකුවේ වත්කම් රුපියල් ට්‍රිලියන 3.03 ක් විය. එය මාස හයක කාලයක් තුළ පිළිවෙලින් රුපියල් බිලියන 255 (8.88%) කින් හා රුපියල් බිලියන 242 (8.66%) කින් වර්ධනය වීමකි.

මාස හය සඳහා සමූහයේ දළ ආදායම 8.53% කින් වර්ධනය වී රුපියල් බිලියන 177.04 ක් වූ අතර, පොලී ආදායම 5.31% කින් වර්ධනය වී රුපියල් බිලියන 146.65 ක් විය. පොලී වියදම් 3.48% කින් අඩු වී රුපියල් බිලියන 77.84 ක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම 17.39% කින් වර්ධනය වී රුපියල් බිලියන 68.81 ක් විය.

මුළු මෙහෙයුම් ආදායම 20.06% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 92.76 ක් වූ අතර, හානිපූර්ණ ගාස්තු හා අනෙකුත් පාඩු සඳහා සමූහයේ ප්‍රතිපාදන 40.41% කින් රුපියල් බිලියන 11.33 දක්වා අඩු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, මාස හය සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම 39.81% ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 81.43 ක් විය. මෙහෙයුම් වියදම් වර්ධනය 5.62% කට රුපියල් බිලියන 25.84 ක් දක්වා සීමා කර ගැනීමෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් සමූහයේ ලාභය 64.57% කින් රුපියල් බිලියන 55.59 ක් දක්වා වර්ධනය කිරීමට හැකි විය.

මූල්‍ය සේවා සඳහා වන බදු 88.30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 8.77 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස හය සඳහා සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 46.81 ක් වූ අතර එය 60.77% ක වර්ධනයක් පෙන්නුම් කරයි. ආදායම් බදු 53.14% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 15.65 ක් වූ අතර සලකා බලන මාස 6 ක කාල සීමාව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 31.17 ක් විය. එය 64.90% ක වර්ධනයකි.

වෙනම ගත් විට, 2025 පළමු අර්ධය තුළදී කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 45.24 ක් හා බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 30.05 ක් ලෙස වාර්තා වූ අතර එය පිළිවෙලින් 61.47% ක හා 60.05% ක වර්ධනයකි.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා මෙසේ පැවසීය: “අපගේ පළමු අර්ධයේ කාර්යසාධනය අතිශයින් ම දිරිගන්වන සුළුය. පළමු කාර්තුවේ දී අප සතු වූ ශක්තිය ගොඩනගමින් අපි පැහැදිලිවම ඊටත් වඩා ශක්තිමත් වූ දෙවන කාර්තුවක් වාර්තා කළෙමු. අපගේ සියලුම ගනුදෙනුකරුවන් සහ කොටස්කරුවන් උදෙසා විශිෂ්ඨත්වය ගෙන ඒම වෙනුවෙන් අපගේ නොසැලෙන කැපවීම තහවුරු කරමින්, වෙළඳපල අවස්ථා අත්පත් කර ගැනීමට හා බාහිර පරිසර තත්ත්වයන්ට මුහුණ දීමට බැංකුව තම නම්‍යශීලී බව සහ විචක්ෂණශීලී විනිශ්චය යන දෙකම උපයෝගී කර ගන්නා අයුරු මෙලෙස පෙන්නුම් කර ඇත. බැංකුව කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇති අතර තිරසාර වර්ධනයක් සඳහා උපායමාර්ගිකව ද ස්ථානගත වී ඇත.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසූයේ, සමූහය හා බැංකුව විසින් ලබා ඇති ප්‍රතිඵල තුළින්, මූලික බැංකු දර්ශක කෙරෙහි දක්වන සමීප අවධානය පිළිබිඹු වන බවත්, ශේෂ පත්‍ර වර්ධනයට සමගාමීව සියලු ම ආදායම් මාර්ග පෝෂණය කර ඇති බවත්, බාහිර භූ දර්ශනයේ විභව වෙනස්කම් සඳහා අඛණ්ඩ විචක්ෂණශීලී ප්‍රතිපාදන වෙන් කරන බවත් ය. “ගෝලීය වෙළඳ පරිසරයේ සිදුවන වෙනස්කම් නිසා අපගේ ගනුදෙනුකරුවන්හට ඇති විය හැකි බලපෑම් අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර මෙම අභියෝග ජය ගැනීමට ඔවුන්ට සහාය වීමට ද අපි සූදානම්ව සිටිමු,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

2025 වසරේ පළමු භාගය අවසන් වන විට සමූහය ණය දීමේ කටයුතු වෙනුවෙන් අඛණ්ඩ දැඩි කැපවීමක් දැක්වූ අතර, මාස හය තුළ ණය පොත රුපියල් ට්‍රිලියන 1.731 දක්වා රුපියල් බිලියන 206 කින් හෙවත් 13.50% කින් වර්ධනය විය. එම වර්ධනය රුපියල් බිලියන 34.33 ක මාසික සාමාන්‍යයක් නියෝජනය කරයි.

සමූහයේ තැන්පතු දෙවන කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 2.5 ඉක්මවා යමින්, 2025 ජුනි 30 වන විට රුපියල් බිලියන 200 ක නැතහොත් 8.66% ක වර්ධනයක් සමඟින් රුපියල් ට්‍රිලියන 2.51 ක් දක්වා යමින් වැදගත් සන්ධිස්ථානයක් අත්කර ගන්නා ලදී. මෙය සාමාන්‍යයෙන් මාසිකව රුපියල් බිලියන 33.27 ක වර්ධනයක් නියෝජනය කරයි.

කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් වෙළඳපලේ බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close