August 14, 2025
CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි
පුවත්

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

Aug 14, 2025

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) යටතේ නව PET ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක්  හඳුන්වා දුන් අතර එය මෙරට පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබ සැමට අප විසින් වගකීම යුතුකම ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් කළේය.

මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීම කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා පරිශ්‍රයේදී සිදු වූ අතර එහිදී CCBSL කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාණ්ඩේ සහ Neptune Recyclers කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් යන මහත්වරුන් විසින් අදාල අවබෝධතා ගිවිසුම (MoU) හුවමාරු කරගන්නා ලදී. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හනීෆ් යූසුෆ් මහතා ද සහභාගී විය. තෝරාගත් ප්‍රදේශවල ප්‍රජා පාදක ප්‍රතිචක්‍රීයකරණ පහසුකම් සංවර්ධනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම හවුල්කාරිත්වය ප්‍රධාන ව්‍යාපෘති දෙකකින් සමන්විතය. ඉන් පළමු ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් පුහුණු කිරීමත්, ඵලදායී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය උපකරණ හා සහායත් ලබා දීමත්  අරමුණු කරයි. මෙම පුහුණු වැඩසටහන් මගින් අපද්‍රව්‍ය නිසි පරිදි වර්ග කිරීමේ ක්‍රම, ආරක්ෂක පියවර සහ හොඳම භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන අතර එකතු කරන්නන් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව කටයුතු කරන බව සහතික කෙරේ.

මීට අමතරව මෙම වැඩසටහන මගින් තරාදි හා බේලින් යන්ත්‍ර වැනි අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමෙන් දැනට පවතින අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් (MRFs) ශක්තිමත් කරනු ඇත. එමෙන්ම මෙම වැඩිදියුණු කිරීම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය නිසි ලෙස වර්ග කිරීම සහ ප්‍රවාහනය සඳහා උපකාරී වන අතර අපද්‍රව්‍ය එකතු කිරීමේ මෙහෙයුම් වර්ධනයට ද සහාය වේ.

PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ස්ථානවල නව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කරනු ඇත. මෙය ජනතාවට ප්‍රතිචක්‍රීයකරණ උත්සාහයන් වෙත ප්‍රවේශ වීමට හා දායක වීමට පහසු කරවන අතර එමඟින් ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්ක සපුරා ගැනීමට ද උපකාරී වනු ඇත.

මෙහි දෙවන ව්‍යාපෘතිය මගින් සුවිශේෂී පරිසර පද්ධතියක් සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාදු ගඟ කෙරෙහි අවධානය යොමු කරයි. මාදු ගඟ යනු අද්විතීය කඩොලාන පරිසර පද්ධතියකින් සහ විවිධ ප්‍රමාණයේ දූපත් 15 කින් සමන්විත සුවිශේෂී ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ජෛව විවිධත්වයෙන් යුත් ප්‍රදේශවලින් එකක් වන අතර රටේ පළමු රැම්සා තෙත්බිම් අඩවිය ලෙස සැලකේ. එහි සතු සුවිශේෂී ජෛව විවිධත්වය හේතුවෙන් මාදු ගඟ බොහෝ දුර්ලභ සත්ව විශේෂ සඳහා නිවහන සපයයි. තවද එය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය මෙන්ම සෆාරි සහ බෝට්ටු චාරිකා සඳහා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයකි.

මෙහි තවත් කොටසක් ලෙස, පාරිසරික සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට සහ කුඩා දේශීය ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා මාදු ගඟේ පාවෙන වෙළඳපොළක් ඉදිකිරීමට නියමිතය. ඊට අමතරව අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ප්‍රදේශයේ PET ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන ද ස්ථාපිත කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් CCBSL හි මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂිකා තමරි සේනානායක මහත්මිය පැවසුවේ ‘’Neptune Recyclers සමඟ වන අපගේ මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයකට සහාය වීමේ වැදගත් පියවරක්. PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අපි එක්ව කටයුතු කරනවා. ඒවගේම අප ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් වැඩිදියුණු කිරීමට පමණක් නොව PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ ගැටලු විසඳීමටත්, PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකරන්නන්ගේ ජීවනෝපායන්ට සහාය වීමටත් සහ පරිසරය කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම දිරිමත් කරන නව පද්ධතියක් ද නිර්මාණය කරමින් සිටිනවා.’’ යනුවෙනි.

“තිරසාරභාවය සඳහා Neptune හි ප්‍රවේශය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව පමණක්ම නොවේ. එය ප්‍රජාවන් ශක්තිමත් කිරීම මෙන්ම සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික හා සමාජ සංවර්ධනය දිරිමත් කිරීම පිළිබඳවයි. කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමඟ අපගේ හවුල්කාරිත්වය විවිධ අංශ හරහා එකට වැඩ කිරීමෙන් ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව මැනවින් පෙන්නුම් කරනවා. තවද නවෝත්පාදනය සහ සමාජ වගකීම එක් කිරීමෙන්, පාරිසරික තිරසාරභාවය හා ආර්ථික ප්‍රගතිය යන දෙකම එකවර අත්කර ගත හැකියි.’’ යනුවෙන් Neptune Recyclers කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් මහතා පැවසුවේය.

මෙම හවුල්කාරිත්වය හරහා තිරසාර ආර්ථිකයකට සහාය වීම, දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමත්, ජෛව විවිධත්වය සහ පරිසරය ආරක්ෂා කරමින් ප්ලාස්ටික් නැවත ලබා ගැනීමේ උත්සාහයන් වැඩි දියුණු කිරීමත් මෙම ව්‍යාපෘතිවල අරමුණයි.

ලස්සන පරිසර හිතකාමී රටක් තුළ පුරවැසියන්ට ආර්ථික, සෞඛ්‍ය හා සාමාජීය වශයෙන් යහපත් ජීවන රටාවකට අත්වැල සපයමින් ද විදේශිකයින්ගේ ආකර්ෂණය තව තවත් වැඩිකරමින් ද ලස්සන රටක් උදෙසා නැවත ජීවය දෙමින් CCBSL) සහ Neptune Recyclers අපි ඉදිරියටත් ක්‍රියාත්මක වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close