City of Dreams Sri Lanka සහ SLITHM අනාගත කාන්තා නායිකාවන්ට ශක්තියක් වෙමින් සුවිශේෂී ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනක් සංවිධානය කරයි
මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී. ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ හෝටල් ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් සමඟ තොරතුරු, අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට City of Dreams කටයුතු කළේය.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සිසු සිසුවියන් මෙම අවස්ථාවට එක්වූ අතර එහිදී මෙරට සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය තුල කාන්තා සවිබල ගැන්වීම, නායකත්වය සහ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව ගැඹුරින් කතා බහට ලක් විය. ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීම හා ක්ෂේත්‍රය තුල කාන්තා නායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් City of Dreams Sri Lanka දක්වන අඛණ්ඩ කැපවීම මේ තුලින් මනාව පැහැදිලි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් SLITHM හි අධ්‍යක්ෂ ජනරාල් වසන්ත මන්ත්‍රීපාල මහතා සඳහන් කර සිටියේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත නායිකාවන් බිහි කිරීම සඳහා අධ්‍යාපනය හා ප්‍රායෝගික පුහුණුව ඉතා වැදගත් වන බවයි. එහිදී පොත පතෙන් ඉගෙන ගන්නා දේ මෙන්ම රැකියා ක්ෂේත්‍රය තුල ඔවුන් ලබන අත්දැකීම් අතර පරතරය අවම කිරීමට මේ ආකාරයේ වැඩසටහන් වඩාත් උපකාරී වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.
මෙම විශේෂ අවස්ථාවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රථම කාන්තා සාමාන්‍යාධිකාරිණිය මෙන්ම ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රථම කාන්තා සභාපතිනිය වන Hilton Yala Resort හි සාමාන්‍යාධිකාරිණී ගීතාංජලී චක්‍රවර්ති මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී. “Next Gen She,”තේමාව කර ගනිමින් සිය දශක තුනක වෘත්තීය අත්දැකීම් ඇසුරින් ආත්ම විශ්වාසය හා අප්‍රතිහත ධෛර්යය තුලින් නායකත්වයට පිවිසීමට තරුණියන් දිරිමත් කළාය.
කොළඹ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා විසින් මෙහෙයවනු ලැබූ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක්ද මීට ඇතුළත් විය. එම සැසියේදී අන්තර්ජාල ආරක්ෂාව, ඩිජිටල් දැනුවත්භාවය සහ සයිබර් අපරාධයන්ගෙන් ආරක්ෂාවීමේ වැදගත්කම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම ගෘහස්ථ හිංසනය පිළිබඳ අවබෝධය හා එවන් අවස්ථාවන්හිදී උපකාර ලබාගත හැකි ක්‍රමයන් පිළිබඳව මෙන්ම සමාජ ගැටලු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම උත්සවයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ Give to Gain නමින් පැවති සංවාදයයි. විවිධ ක්ෂේත්‍රයන්හි සාර්ථකත්වයට පත් කාන්තා වෘත්තිකයින් රැසක් ඊට එක්වෙමින් සිය වෘත්තීය ගමන් මඟ මෙන්ම නායකත්වය, සමානාත්මතාව සහ වෘත්තීය සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් බෙදා ගත්හ.
SLITHM හි විදුහල්පතිනි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී නිර්මලී මෙන්ඩිස් මහත්මිය මෙහිදී පවසා සිටියේ හෝටල් කර්මාන්තයේ නියුතු කාන්තාවන් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවයි. ඕනෑම තත්වයකට හැඩගැසීමට මෙන්ම විවිධ රැකියා භූමිකාවන් භාර ගැනීමට ඔවුන් සූදානම් විය යුතු බවද ඇය වැඩිදුරටත් පැවසීය.
City of Dreams හි නීති නිලධාරිණියක වන දේදුණී ද සිල්වා මෙහිදී අදහස් දක්වමින් දශක ගණනාවක සාමූහික ප්‍රයත්නයක් තුලින් කාන්තා අයිතිවාසිකම් දිනා ගෙන ඇති බව පෙන්වා දුන්නාය. විශේෂයෙන් සියලු දෙනාට වඩාත් සුදුසු හා සමාන අවස්ථා සහිත රාජකාරී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රසූත නිවාඩු (maternity leave) මෙන්ම පිය නිවාඩු (paternity leave) වැනි සේවා ස්ථාන ප්‍රතිපත්තීන් තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවද ඇය පෙන්වා දුන්නාය.
City of Dreams Sri Lanka නියෝජනය කරමින් මෙහිදී අදහස් දැක්වූ මිචෙල් වාහිඩ් – ද සිල්වා කාන්තා නියෝජනය සමඟින් මිනිසුන් කේන්ද්‍ර කොටගත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන්නාය. කාන්තාවන් දුෂ්කර වෘත්තීන් ලෙස සැලකෙන මෙවන් ක්ෂේත්‍රයන්හි වෘත්තීය ජයග්‍රහණයන් අත්පත් කර ගැනීම සඳහා කාන්තාවන් දිරිමත් කළ යුතු බවද ඇය සඳහන් කර සිටියාය.
මෙම අවස්ථාවට එක් වූ සූපවේදිණී සුදර්ශනී කිරිඳිගල මහත්මිය සිය වෘත්තීය තුල ලද අත්දැකීම් බෙදා ගනිමින් සුපවේදී වෘත්තියේ අභියෝග සහ අවස්ථා පිළිබඳ සඳහන් කළාය. එසේම ඇය විශ්වාසයෙන් හා අභිමානයෙන් සිය වෘත්තිය සිදු කිරීමට අවශ්‍ය ධෛර්යය තරුණ කාන්තාවන්ට ලබා දීමටද මෙහිදී කටයුතු කළාය.
මෙහිදී අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි අලෙවි හා සන්නාමය ප්‍රධානී චාමිකා කරුණාරත්න ඩිජිටල් පරිවර්තනය හේතුවෙන් හෝටල් ක්ෂේත්‍රය තුල සන්නිවේදනය හා අලෙවිකරණය වෙනස් වන ආකාරය පිළිබදව පෙන්වා දෙන ලදී. ඇය මෙහිදී සඳහන් කර සිටියේ වෙනස් වන වෘත්තීය පරිසරය තුල සාර්ථකත්වයක් උදා කර ගැනීමට නම් ඩිජිටල් අවබෝධය, ඉක්මණින් හැඩගැසීමේ හැකියාව සහ මනා සන්නිවේදන හැකියාව ඉතා වැදගත් වන බවයි.
උක්ත තේමාවට අදාලව ශක්තිමත් පණිවිඩයක් ලබා දීමට සමත් වූ මෙම සුවිශේෂී හමුව අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීමට, දැනුම බෙදා හදා ගැනීමට මෙන්ම අනාගත පරපුරට නව අවස්ථා උදා කර දීමට කදිම අවස්ථාවක් විය. මෙරට සංචාරක හා හෝටල් කර්මාන්තය තුළ කාන්තාවන්ට වඩාත් සාධාරණ හා යහපත් අනාතයක් උදා කර ගැනීමට මඟ පෙන්වීම, සහයෝගය දැක්වීම හා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම ද මෙම හමුව තුලින් නැවත නැවතත් තහවුරු විය.
මෙවන් වැඩසටහන් තුලින් කාන්තා නායකාවන් ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත්, හෝටල් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අනාගත පරපුර සඳහා ආයෝජනය කිරීමටත් City of Dreams Sri Lanka ඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

