September 8, 2024
නියම සිලෝන් ටී සාරය ලොවට ගෙන යන ශ්‍රී ලාංකේය සශ්‍රීකත්වයඅයිස්ලේබෙ වතුයාය
පුවත් අලූත් යමක්

නියම සිලෝන් ටී සාරය ලොවට ගෙන යන ශ්‍රී ලාංකේය සශ්‍රීකත්වයඅයිස්ලේබෙ වතුයාය

Jul 26, 2024

ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව තවත් සුවිශේෂී පාන වර්ග රැසක් තුළින් මුවග රස ගන්වන්නට සමත්ව සිටියි. ඒ අසමසම රසය ලොවට ගෙන එන සුවිශේෂී පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාවේ ඌව පළාත කේන්ද්‍රකොට ගත් අයිස්ලේබෙ වතුයාය සඳහන් කළ හැකිය. මල්වත්ත වැලි වැවිලි සමාගම මඟින් පාලනය කරනු ලබන අයිස්ලේබෙ වතුයාය වසර 100කට වැඩි කාලයක් තිස්සේ මෙරට ආර්ථිකයට පමණක් නොව සුවහසක් ජීවිත නගා සිටුවීමට දක්වා ඇති දායකත්වය අති මහත්ය. වෙසෙසින්ම තත්වය හා නව්‍යකරණය තුළින් නිරන්තරයෙන් ඉදිරියට යමින් හොඳම නිෂ්පාදනයක් ලබා දීමට අයිස්ලේබෙ වතු යාය සමත්ව ඇත්තේ ගෙවුණු සියවසක කාලය තුළ නොබිඳුණු විශ්වාසයක් මෙරට තේ කර්මාන්තයට එක් කරමිනි.

ඓතිහාසික උරුමයක්

අයිස්ලේබෙ වතු යායේ ඉතිහාසය පිළිබඳ විමසීමේදී එය 1920 තරම් ඈතට දිව යන්නකි. එකල නෝමන් බොස්ටොක් මහතා විසින් මෙම අයිස්ලේබෙ වතුයාය මීලදී ගන්නේ කඳු වැටිවලින් වටවූ මනස්කාන්ත පරිසරයක අසිරිය විඳ ගැනීම වෙනුවෙනි. ඒ මනස්කාන්ත බව නිසාම එම වතුයායට ‘අයිස්ලේබෙ’ යන නම තබන්නේද ඔහු විසිනි. ඒ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ තමන්ගේ අත්දැකීම් මෙම වතු යායටද ආදේශ කරමිනි.

කෙසේ වුවද මෙම අයිස්ලේබෙ වතු යාය සශ්‍රීක තේ වත්තක් බවට පත් වන්නේ ඔහුගේ පුත්‍රයා වන මාර්ක් ගේ මැදිහත් වීමෙනි. ඒ මාර්ක්, ජෝන් කීල්ස් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදීය. ඔහු විසින් අයිස්ලේබෙ වතු යාය සශ්‍රීක තේ වත්තක් බවට පත් කරනවා පමණක් නොව 11 වැනි  සියවසේදී රාජකීය උද්‍යාන සඳහා සුප්‍රසිද්ධ වූ මල්වත්ත තීරය සමඟ ඓතිහාසික සබඳතාවකට උරුමකම් කියන අයිස්ලේබෙ වතුයාය නව්‍යකරණ කෘෂිකාර්මික පිළිවෙත් තුළින් ශ්‍රී ලාංකේය උරුමයක් බවටද පත් කිරීමට සමත් විය. අද අප අත්විඳින්නේ ඔහු දායාද කළ එකී උරුමයයි.

සිය වගාවන් නැරඹීම අධීක්ෂණය වෙනුවෙන් බොස්ටොක් මහතා විසින් අයිස්ලේබෙහි Kirchchyan අංශයේ විසල් පෙදෙසක ඉදි කළ සුවිශේෂී , “Bostock’s Chair” , වතු යායේ ප්‍රමුඛ ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. බොස්ටොක් මහතා මෙම ස්ථානයේ සිට අයිස්ලේබෙ වතුයාය නිරීක්ෂණය කළ බව සඳහන් වේ.

තේ නිෂ්පාදනයෙන් ජනතා සුභ සිද්ධියට

උසස් තත්වයේ වගාවක් තුළින් ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දීම වෙනුවෙන් කැපවන අයිස්ලේබෙ වතුයායේ තේ කර්මාන්ත ශාලාව මුහුදු මට්ටමේ සිට අඩි 1218ක් ඉහළින් පිහිටුවනු ලැබුවේ 1936 තරම් ඈත කාලයේදීය. අද වන විට Rainforest Alliance, ISO 22000, ETP සහ GMP යනාදී තත්ව සහතිකයන්ගෙන් පිදුම් ලබා ඇති එහි නිෂ්පාදන විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දීමට අයිස්ලේබෙ වතු යායට හැකි වී ඇත්තේ විශිෂ්ට තේ සන්නාම රැසක් සිය තේ සාරයෙන් රසවත් කරමිනි.

සෑම වසරකම ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී උතුරු ඉන්දියාවේ වියලි කලාපයන්ගෙන් හට ගන්නා ‘කචාන්’ සුළඟ ශ්‍රී ලංකාවේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයන් හරහා පැමිණ මෙම මල්වත්ත තීරය සිප ගනිමින් හමා යන්නේ අයිස්ලේබෙ වතු යායේ නැවුම් තේ දලුවල රසය තව තවත් වැඩි කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මල්වත්ත වැලි වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Lucas Bogtstra මහතා සඳහන් කර සිටියේ “ නව්‍යකරණය හා තිරසාරත්වය තුළින් මෙම පොහොසත් උරුමය ආරක්ෂා කර ගනිමින් උසස් ප්‍රමිතියෙන් යුත් තේ නිෂ්පාදනය කිරීමට කැපවී කටයුතු කරන බවයි.

එපමණක්ද නොව ඌව පළාතට ආවේණික ජෛව විවිධත්වය මෙන්ම සොබා සෞන්දර්යයේ අනන්‍යතාව සංරක්ෂණයේ සුවිසල් පියවරක් ඉටු කරනු ලබන්නේද අයිස්ලේබෙ වතු යාය බව මෙහිදී සඳහන් කළ යුතුමය. ඔවුන් විසින් සිදු කරනු ලබන පාංශූ සංරක්ෂණය, ජල කළමනාකරණය හා තේ වගාවේ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම හා පාරිසරික බලපෑම අවම කරන ආකාරයේ පලිබෝධ කළමනාකරණය වැනි තිරසාර භාවිතයන් ඒ සඳහා බෙහෙවින් ඉවහල් වේ.

වතුයායේ තවත් විශේෂත්වයක් වන්නේ ප්‍රජා සුභ සාධනය වෙනුවෙන් දක්වන කැපවීමයි. මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් දායකත්වය දක්වන අතරම බොහෝ පිරිසකට රැකියා අවස්ථාවන් උරුම කරදීමටද අයිස්ලේබෙ වතු යාය සමත්ව ඇත. එහිදී වතු යායෙහි සේවයේ නියුතු සේවක ප්‍රජාවගේ හා ඔවුන්ගේ පවුල්වල උන්නතිය වෙනුවෙන් අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය සේවා පහසුකම් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට පාලන අධිකාරිය කටයුතු කර ඇත්තේ සිය වතු යායෙන් පෝෂණය වන සමස්ත ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බව මනාව සහතික කරමිනි.

නැවුම් තේ රස

හෙක්ටයාර 463ක් පුරා විහිදුණු සාරවත් බිම් කඩක රෝපණය කර ඇති තේ පඳුරු ඉතා හොඳින් නඩත්තු කරන වතු යායක් ලෙස පෙන්වා දිය හැකි අයිස්ලේබෙ වතුයාය නිරන්තරයෙන් ඒ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන ශ්‍රම බලකායකින් සන්නද්ධය. තේ දලු නෙලීමේ සිට අවසාන නිෂ්පාදනය දක්වා සෑම විටකම නැවුම් තේ නිෂ්පාදනයක් ලබා දීම සහතික කිරීම සඳහා නිසි තත්වයන් ප්‍රවේශමෙන් පවත්වාගෙන යමින් සැබෑ තේ රසය ලබා දීමට ඔවුන් කටයුතු කරනුයේ සිලෝන් ටී නාමය තව දුරටත් විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස පවත්වාගෙන යාමට දිරි දෙමිනි.

අස්වනු නෙලීමෙන් පසු සියලු තේ දලු එම වතුයායේම පිහිටා ඇති නවීන තාක්ෂණයෙන් යුත් තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලට ලබා දෙන තත්වයෙන් උසස් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙනි.  එහිදී ජාත්‍යන්තර තත්වයේ උසස් නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ තත්ව සහතිකයන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කරන අතර එහි ප්‍රථිඵලයක් ලෙස රසවත් මෙන්ම ගුණවත් අයිස්ලේබෙ තේ පාරිභෝගිකයා අතට පත් කිරීමට අයිස්ලේබෙ වතු යාය සමත්ව ඇත්තේ තේ රස විඳින්නන්ගේ මනදොල පිනවනු වස් නැවුම් තේ රස මුවකට එක් කරමිනි.

ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ හා අයිස්ලේබෙ වතු යායේ හෙට දවස

මල්වත්ත වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන අයිස්ලේබෙ, චෙල්සී, ඌව හයිලන්ඩ්ස්, නෙලුව සහ ශාන්ත ජේම්ස් යන සියලු තේ වතු මෙරට තේ කර්මාන්තය වෙනුවෙන් ලබා දෙනුයේ ඉමහත් ශක්තියකි. අයිස්ලේබෙ මෙහිදී විශේෂ වන්නේ සමූහයේ හවුල් විශේෂඥ දැනුම හා සම්පත් වතුයායේ සංවර්ධනයට සුවිසල් දායකත්වයක් දක්වන බැවිනි. ඒ නිසාම ගුණාත්මක බව, තිරසාරත්වය සහ සමාජ වගකීම් වැනි විවිධ විශිෂ්ටතා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ කැපී පෙනෙන විශිෂ්ටයකු බවට පත් වන්නට අයිස්ලේබෙ වතුයායට හැකිවී ඇත.

හෙට දවසේද එය තව දුරටත් වර්ධනීය තත්වයකට ගෙන එමින් නව තාක්ෂණික ක්‍රමෝපායන්, වගා ක්‍රම හා පර්යේෂණ හා සංවර්ධන සඳහා ආයෝජනය වැනි දේ හරහා විශිෂ්ට නවෝත්පාදකයකු බවට පත් වීමට කටයුතු කරමින් සිටින අයිස්ලේබෙ වතු යාය තිරසාර බව හා ගුණාත්මක බව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අරමුණු කොට ගෙන ඇත. විශේෂයෙන් මල්වත්ත වැලි වැවිලි සමාගමට අයත් වතු යායක් ලෙස මෙරට කීර්තිමත් අනෙකුත් වතු යායන් සමඟ එක් වෙමින් තේ කර්මාන්තය තුළ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අයිස්ලේබෙ වතුයාය තිරසාරබව හා ගුණාත්මකබව තහවුරු කිරීමට සමත්ව ඇත්තේ ගෝලීය වෙළෙඳපොල ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමිනි. නිරන්තරයෙන් ශ්‍රී ලාංකේය උරුමය සමඟ නවෝත්පාදනය ඉදිරියට ගෙන යමින් ගුණාත්මක බවින් ඉහළ රසවත් තේ නිෂ්පාදනයක් ලබා දීමට කටයුතු කරන අයිස්ලේබෙ වතු යාය ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමය තවත් පරම්පරා ගණනාවක් නොනැසී පවත්වා ගැනීම වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *