October 26, 2025
රුපියල් මිලියන 18ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබලගන්වයි
පුවත්

රුපියල් මිලියන 18ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබලගන්වයි

Oct 8, 2025

අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි.

2002 දී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට මෙම වසර ද ඇතුළුව ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව ගණන 3,466 දක්වා ඉහළ ගොස් ඇති අතර එම ශිෂ්‍යත්ව වල මුළු වටිනාකම රුපියල් මිලියන 240 කි. මෙම වැඩසටහනේ දී අංශ 4 ක් යටතේ රුපියල් මිලියන 18ක ශිෂ්‍යත්ව ප්‍රදානය වු අතර ජාතික මට්ටමේ විභාගවල දිස්ත්‍රික් මට්ටමේ ශ්‍රේණිගත කිරීම් හා ක්‍රීඩා, කලා හා අනෙකුත් නිර්මාණාත්මක ක්ෂේත්‍රවල සුවිශේෂී ජයග්‍රහණ ද මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සිය ප්‍රධාන දේශනයේ දී, ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනත් සමඟ සෙලින්කෝ ලයිෆ් පැමිණි වසර 24ක ගමනට උපහාර දක්වමින් පැවසූයේ, ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි ප්‍රධාන භූමිකාවන්වල සේවය කරන නායකයින් බිහි කිරීමට මෙම වැඩසටහන දැනටමත් උපකාරී වී ඇති බවයි. කිසි විටෙකත් සොරකම් නොකළ හැකි ධනයක් වන අධ්‍යාපනය තුළින් වෘත්තීය අවස්ථා විවෘත කීරීම, තීරණ ගැනීම ශක්තිමත් කිරීම, අවදානම් වලට මුහුණ දීමේ ආත්ම විශ්වාසය ගොඩනැගීම මෙන් ම සමාජයීය සංවර්ධනය පෝෂණය කරන දැනුම හා කුසලතා සැපයීම සිදු කෙරෙන බවත් ඔහු අවධාරණය කලේය. ආර්ථික ප්‍රගතිය ඇති කිරීමට, දරිද්‍රතාවය අඩු කිරීමට සහ ගැටළු විසඳීමේ හා අනුවර්තනය වීමේ හැකියාව වර්ධනය කිරීමට නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.

සෙලින්කෝ ලයිෆ් හි විධායක අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රංග අබේනායක මහතා නව ප්‍රණාම ශිෂ්‍යත්වලාභීන් පිළිගනිමින් පැවසූයේ, අද වන විට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ශාස්ත්‍රඥයින් සහ ව්‍යවසායකයින් ලෙස සේවය කරන බොහෝ ප්‍රණාම ශිෂ්‍යත්වලාභීන්ගේ ජයග්‍රහණ පිළිබඳව සමාගම මහත් ආඩම්බරයට පත්වන බවයි. තාක්ෂණය සහ කෘතිම බුද්ධිය තුළින් ලෝකයේ සිදුවන වේගවත් පරිවර්තනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, වර්තමාන පරම්පරාවේ දෙමව්පියන් සහතික වශයෙන් ම තම දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කරන අතර මේ දක්ෂ දරුවන්ට ශ්‍රී ලංකාව ගෝලීය තාක්ෂණික ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ වගකීම පැවරෙන බවයි. “නව මානයන් වෙත පිවිසීමට නම් අපට නිර්මාණශීලී සහ වෙනස් ලෙස සිතීමට උත්සාහ කරන පිරිස් අවශ්‍යයි,” යැයි ඔහු ප්‍රකාශ කළේය. “අද අපි අපගේ ප්‍රණාම ශිෂ්‍යත්වලාභීන් ඉදිරියේ තබන අභියෝගය ද එයයි.”

මෙම අවස්ථාවට තම පුද්ගලික අත්දැකීම් හරහා තවත් අගයක් එකතු කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ගණිතය හා න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින, පෙර ප්‍රණාම ශිෂ්‍යත්වලාභී සහන් කරවිට මහතා ඩිජිටල් තාක්ෂණය හරහා රැස්ව සිටි පිරිස ඇමතීය. සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන තුලින් ඔහු ලැබූ ප්‍රතිලාභ සහ ප්‍රණාම ශිෂ්‍යත්වලාභීන් හට ජාත්‍යන්තරයේ බැබලීමට ඇති හැකියාව ඔහුගේ ගමන තුළින් පෙන්වා දුනි. 

සෙලින්කෝ ලයිෆ් විසින් තම ඔප්පු හිමියන්ගේ දූ දරුවන් අතරින් 2024 දී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 26 දෙනෙක්, 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 25 දෙනෙක්, හා 2023 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් තම දිස්ත්‍රික්කවල ඉහළම Z අගය ලබාගත් සිසුන් 67 දෙනෙකුට, ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. ඊට අමතරව, ක්‍රීඩා, කලා, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් 2023/2024 විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් සඳහා ද කුසලතා සම්මාන 10ක් ප්‍රදානය කෙරිණි.

ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා බවට පත්ව සිටියි. මෙම වසර ආරම්භයේ දී ම සමාගම ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද අතර සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය බවට බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස එහි ස්ථාවරය නැවතත් තහවුරු කලේය.

2022 සහ 2023 වසරවලදී ද ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස සෙලින්කෝ ලයිෆ් තේරී පත් වූ අතර 2023 වසරේ දී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close