December 20, 2024
ලංකා බැංකුවේ වාරියපොළ නගර ශාඛාව ප්‍රතිස්ථාපනය කෙරෙයි
පුවත්

ලංකා බැංකුවේ වාරියපොළ නගර ශාඛාව ප්‍රතිස්ථාපනය කෙරෙයි

Apr 1, 2024

බැංකු කරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා  බැංකුවේ වාරියපොළ ශාඛාව  ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය දා සිදු කෙරිණි.  මෙම වාරියපොළ  ශාඛාව ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට   ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, සහකාර මහා කළමනාකරු  (පරිපාලන සේවා) කේ. සී. මහවත්ත, සහකාර මහා කළමනාකරු (වයඹ පළාත) කුෂාන් දෙල්ගොඩ, මෙහෙයුම් කළමනාකරු (වයඹ පළාත) ජේ. ඒ. එන්. ජයසූරිය, ප්‍රාදේශීය කළමනාකාරිණී මලිති යාපා සහ වාරියපොළ ශාඛා කළමනාකරු තරංග චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු  ඇතුළු ලංකා බැංකු  කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ හා ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

වාරියපොළ  ප්‍රදේශය  ආශ්‍රිතව  ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බලගන්වමින්, ඔවුන් වෙත මූල්‍ය  පහසුකම් සමගින්  සියලු ම බැංකු සේවාවන්  ලබා දීම ප්‍රතිස්ථාපිත ලංකා බැංකු ශාඛාවේ අරමුණ වන අතර,  දිවයින පුරා පිහිටා ඇති 653ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය හා 2000කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී ඇති නිසා වාරියපොළ  ප්‍රදේශය ආශ්‍රිත ගනුදෙනුකරුවන්ට මෙම  ශාඛාව හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමඟ මෙන් ම ජාත්‍යන්තර ව ද ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමිවේ. එමෙන් ම ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්,  නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු , උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන් ම සුවිශේෂී  ණය පහසුකම් ද වාරියපොළ ශාඛාව මගින් ලබාගත හැකි වීම විශේෂිත ය. එමෙන් ම ගනුදෙනුකරුවන්ට Debit හා Credit කාඩ් පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන් ම ප්‍රේෂණ සේවාවන් ද සහිතව වාරියපොළ ශාඛාව මගින් අංගසම්පූර්ණ බැංකු සේවාවක් ලබා ගත හැකි වේ.

මහ ජනතාව වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබා දීම සඳහා නිබඳ ව ම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන් ම SmartPay, Smart Online Banking, Mobile Banking  (B App), E – Commerce  Debit  Card, BOC Connect (නියෝජිත බැංකු සේවාව), Branch on Wheels (ජංගම බැංකු ශාඛා), Smart Zone, BOC Digi (ඩිජිටල් ශාඛා), Smart Pass Book (විද්‍යුත් පාස් පොත), SmartGen ඩිජිටල් ගිණුම, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේද සහ ගිණුම් විවෘත කිරීම, පෞද්ගලික/නිවාස ණය සඳහා අයදුම් කිරීම ආදී සේවාවන් මාර්ගගත ව (Online) ලබාගැනීමේ හැකියාව වැනි  ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට  කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පහසුකම් නිසා ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන්  දෛනික බැංකු ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *