October 16, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100 අතරින් කොමර්ෂල් බැංකුව 2 වන ස්ථානය හිමි කරගනී
පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100 අතරින් කොමර්ෂල් බැංකුව 2 වන ස්ථානය හිමි කරගනී

Oct 11, 2024

LMD සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 100 ශ්‍රේණිගත කිරීමේ 2024 සංස්කරණයෙහි ස්ථාන 05ක් ඉදිරියට පැමිණෙමින් සමස්ත දෙවන ස්ථානය අත්කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් වී ඇත.

මේ සමඟ කොමර්ෂල් බැංකුව LMD 100 හි ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස සිය තත්ත්වය පවත්වාගෙන සිටිනවා පමණක් නොව, පිරිවැටුම මත පදනම් වූ ප්‍රධාන ශ්‍රේණිගත කිරීමෙහි සිටින ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහ කිහිපයක් අභිබවා ගොස් ඇත.

මීට වසර 31 කට පෙර LMD ශ්‍රේණිගත කිරීම පළමු වරට ප්‍රකාශයට පත් කළ දා සිට සෑම වසරකම LMD ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සමාගම් 10 අතර සිටීමේ ගෞරවය ද හිමි කර ගෙන ඇත.

කොමර්ෂල් බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මේ පිළිබඳව පැවසූයේ, “LMD ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය හිමි කර ගැනීම පිළිබඳ බැංකුව ඉතාමත් සතුටට පත්වන අතර එය පසුගිය මූල්‍ය වර්ෂය තුළ අපගේ ශක්තිමත් කාර්ය සාධනය පිළිබඳ සාක්ෂියකි,”යන්නය. ඔහු තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “එය බැංකුවේ මූල්‍ය ශක්තිය, ගැඹුරට මුල් බැස ගත් ඔරොත්තු දීමේ හැකියාව සහ කඩිසරභාවය පිළිබඳ පැහැදිලි ප්‍රදර්ශනයකි. එසේ ම මෙම ශ්‍රේණිගත කිරීම දුෂ්කර තත්ත්වයන්හි දී පවා වර්ධනයක් අත්කර ගැනීමට කොමර්ෂල් බැංකු කණ්ඩායම දක්වන කැපවීමට උපහාරයක් ද වෙයි.”

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම්වල පිරිවැටුම මත පදනම් වූ LMD ප්‍රාථමික ශ්‍රේණිගත කිරීම්වලට අමතරව, LMD විසින් ක්ෂේත්‍ර අනුව මෙන් ම මුළු වත්කම්, බදු වලින් පසු ලාභය, කොටස් හිමියන්ගේ අරමුදල්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සහ අනෙකුත් කාර්ය සාධන දර්ශක අනුව ද සමාගම් ශ්‍රේණිගත කිරීම් සිදු කරයි. LMD 100 ශ්‍රේණිගත කිරීමට රටේ ප්‍රධාන පෙළේ සමාගම්, ටෙලිකොම් සමාගම්, පාරිභෝගික අංශයේ දැවැන්තයන්, රක්ෂණ සමාගම් සහ අනෙකුත් අංශවල ප්‍රමුඛයන් මෙන්ම ලැයිස්තුගත බැංකු ද ඇතුළත් වේ.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංගලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *