British Council හි ‘Schools Now! 2024’ සම්මන්ත්‍රණය මගින් අධ්‍යාපන වෘත්තිකයන්ට සහ තීරණ ගන්නා පාර්ශ්වයන්ට ලොව පුරා සිසුන්ගේ අධ්‍යාපන අත්දැකීම වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් හඳුන්වා දෙයි
British Council හි ‘Schools Now! 2024’ සම්මන්ත්‍රණය 2024 පෙබරවාරි 27 සිට 29 දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්විණි. පාසල් අධ්‍යාපනය සම්බන්ධ කැපීපෙනෙන පුද්ගලයන් 1,000 කට අධික පිරිසක් සම්මන්ත්‍රණ පරිශ්‍රය වෙත පැමිණීමෙන් හෝ අතථ්‍ය (Virtual) ලෙස ඊට සම්බන්ධ වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් British Council හි නියෝජිතයෙක් මෙන්ම Elizabeth Moir School, St. Thomas’ Catholic International College සහ Ladies’ College යන පාසල් නියෝජනය කරමින් නියෝජිතයෝ තිදෙනෙක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.
ඩිජිටල් ඉගෙනුම, නායකත්වය, යහපැවැත්ම සහ සුරක්ෂිතකරණය යන තේමාවන් සහ, ඒවා ජාත්‍යන්තරකරණය වූ සහ සන්දර්භගත විෂය මාලාවකට එක් කිරීම මෙහිදී සාකච්ඡාවට ලක්විය. මෙහිදී දේශන, වැඩමුළු සහ සංවාදමය වැඩසටහන් පෙළක් පැවැත්වුණු අතර, එම වැඩසටහන්වලදී නව ඉගැන්වීම් ප්‍රවේශයන්, විෂය මාලාවන් වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් සහ අධ්‍යාපනය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.
British Council හි ගෝලීය විභාග සේවා ප්‍රධානී මාටින් ලව්ඩර් මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “Schools Now! වැඩසටහනේ අරමුණ වන්නේ, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා නවෝත්පාදන ගවේෂණය කරමින් එම ක්ෂේත්‍රය තුළ ගෝලීය සම්බන්ධතා නිර්මාණය කිරීමයි. අලුතින් ජනප්‍රිය වන තේමාවන් සාකච්ඡාවට බඳුන් කිරීම මගින්, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවන වෙනස්කම් තුළින් පැනනගින සංකීර්ණතා ජයගැනීමට අධ්‍යාපන වෘත්තිකයන් සවිබල ගන්වන අතරම ඒ ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩා යහපත් ප්‍රතිලාභ හිමි වන පසුබිමක් නිර්මාණය කිරීමට අප උත්සාහ කරනවා.”
British Council in Sri Lanka හි විභාග අධ්‍යක්ෂ ඩොමිනික් හඩ්සන් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “එක්සත් රාජධානියේ සුදුසුකම් පිරිනමන ආයතන නියෝජනය කරමින් එරට ජාත්‍යන්තර පාසැල් මට්ටමේ සුදුසුකම් පිරිනැමීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවේ පාසල් 116 ක් ‘The British Council Partner Schools’ වැඩසටහන සමග එක් වී සිටිනවා. අපගේ අධ්‍යාපනික සහයෝගය ඔස්සේ මේ පාසල්වල සිසුන් වෙනුවෙන් වඩාත් හොඳ ඉගෙනුම් අත්දැකීමක් තිළිණ කරන අතරම, එම අධ්‍යාපනය තුළින් හිමි වන ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා.”
Curriculum Foundation හි ප්‍රධාන විධායක නිලධාරිනී වික්ටෝරියා පෙන්ඩ්‍රි විසින් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරන ලදි. වඩාත් ප්‍රයෝජනවත් විෂය මාලාවන් නිර්මාණය කිරීම, නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා පාසල් සවිබල ගැන්වීම එම දේශනයේ ප්‍රධාන අරමුණ විය. ගුණාත්මක හා සාධාරණ අධ්‍යාපනයක් සඳහා පදනමක් ලෙස ඩිජිටල් ඉගෙනීමේ අන්තර් සම්බන්ධිත ස්වභාවය, නායකත්වය, යහපැවැත්ම සහ සුරක්ෂිතකරණය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇයගේ දේශනය තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරිණි.
මීට අමතරව ඝානාවේ Al Rayan ජාත්‍යන්තර පාසලේ යහපැවැත්ම අංශයේ සහ ළමා ආරක්ෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය Funke Baffour-Awuah, British Council හි අධ්‍යාපන උපදේශිකා කැත්ලීන් ඔ’හෙයා, නියෝජ්‍ය ප්‍රධානී පැමලා ඕ’බ්‍රීන් සහ මැඩ්රිඩ් හි British Council School හි අධ්‍යාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී ජෝ පාර්ක්ස් යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් පළකළහ.
මොල්ඩෝවා හි Heritage International School හි අධ්‍යාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සහ 2023 වසරේදී ISC International Education Influencer ඇගයුම් ලැබූ ටටියානා පෝපා, අතථ්‍ය (Virtual) ලෙස සම්මන්ත්‍රණයට එක් වූ නියෝජිතයන් වෙනුවෙන් ‘ඩිජිටල් අධ්‍යාපනය’ පිළිබඳ දේශනයක් පැවැත්වූවා ය. මෙහිදී පාසල් තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතා කිරීම සහ එමගින් සමස්ත රාජකාරි කටයුතු, අධ්‍යාපනික මෙවලම් සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් ඇතුළු අංශ රැසකට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරිණි.
එමෙන්ම කේප් ටවුන් හි Stellenbosch University හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Kudzayi Tarisayi, ඊජිප්තුවේ Nermine Ismail International Schools හි මධ්‍යම සහ උසස් පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ රෙහාම් අලි, සහ ජෝ පර්ක්ස් යන සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින්, අධ්‍යාපනය තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් සංවාදයක් පවත්වන ලදි. එහිදී විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම තුළින් අනාගතයේදී නිර්මාණය වන අවශ්‍යතා සඳහා පාසල් සිසුන් සූදානම් කරවීම සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකෙරිණි. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ නියෝජිතයන් අතරින් 90% කට ආසන්න ප්‍රතිශතයක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සතුරෙකු නොව මිතුරෙකු ලෙස දැකීම සුභවාදී ප්‍රවණතාවක් විය. මෙය එම තාක්ෂණය භාවිතයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ධනාත්මක අදහස් පවතින බවට මනා සාක්ෂියකි.