November 14, 2026
සෙලාන් බැංකුව වසර 29කට පසු වෙළෙඳ සේවා ‘ඒ’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව යළි දිනා ගනී
පුවත්

සෙලාන් බැංකුව වසර 29කට පසු වෙළෙඳ සේවා ‘ඒ’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව යළි දිනා ගනී

Nov 14, 2026

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 වසරේ 34 වැනි වෙළෙඳ සේවා පැසිපන්දු ලීග් තරගාවලියේ පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සෙලාන් බැංකු පිරිමි පැසිපන්දු කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේදී ලකුණු 73–61ක තීරණාත්මක ජයක් වාර්තා කරමින් ශූරතා කුසලානය හිමිකරගත් කණ්ඩායම, අවසන් වරට 1997 වසරේදී ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමෙන් වසර 29කට පසුව නැවතත් එම ජයග්‍රහණය අත්කර ගැනීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය, නැවත නැඟී සිටීමේ අධිෂ්ඨානය සහ නොසැලෙන කැපවීම මත ගොඩනැඟුණු ආදර්ශවත් ගමනක සාර්ථක අවසානය සනිටුහන් කරයි. මීට පෙර ‘D’ කාණ්ඩය යටතේ තරග වැදුණු මෙම කණ්ඩායම, වසර ගණනාවක් පුරා වෙළෙඳ සේවා පැසිපන්දු ක්‍රීඩාවේ තරගකාරී කාණ්ඩ ඔස්සේ ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමට සමත් විය. නායක චානුක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් සහ බැංකුව නියෝජනය කරන නැඟී එන දක්ෂ ක්‍රීඩකයන් මෙන්ම අත්දැකීම් බහුල ජාතික තලයේ ක්‍රීඩකයන්ගේ දායකත්වයෙන් ශක්තිමත් වූ මෙම කණ්ඩායමේ අඛණ්ඩ කැපවීම, විනය සහ සාමූහික අධිෂ්ඨානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ සේවා පැසිපන්දු ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට නැවතත් ළඟා වීමට ඔවුන්ට හැකි වී තිබේ.

රටේ ප්‍රමුඛතම ආයතනික පැසිපන්දු කණ්ඩායම් සමඟ තරග වැදුණු සෙලාන් බැංකු කණ්ඩායම, අවසන් මහා තරගයේදී විශිෂ්ට උපායමාර්ගික පරිණතභාවයක්, පිටියේ දක්ෂ ක්‍රීඩා විලාසයක් සහ පීඩනය හමුවේ නොසැලෙන සංයමයක් ප්‍රදර්ශනය කළේය. සැබෑ ක්‍රීඩාශීලීත්වයේ ජීවගුණය මනාව පිළිබිඹු කළ එම දස්කම්, තරගාවලිය පුරා කණ්ඩායම දැක්වූ විශිෂ්ට දස්කම් මාලාවේ කැපී පෙනෙන අවසානයක් සනිටුහන් කළේය. මෙම ජයග්‍රහණයට තවත් අභිමානයක් එක් කරමින්, තරගාවලිය පුරා සුවිශේෂී දක්ෂතා දැක්වූ සෙලාන් බැංකුවේ සසිඳු ගජනායක තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player – MVP) ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම ජයග්‍රහණය, සෙලාන් බැංකුව සතු ක්‍රීඩා සංස්කෘතියට මෙන්ම වෘත්තීය වගකීම්වලින් ඔබ්බට ගොස් සේවකයන්ගේ දක්ෂතා සහ රුචිකත්වයන් පෝෂණය කිරීමට බැංකුව දක්වන කැපවීමට ද සාක්ෂියකි. ජාතික තලයේ ක්‍රීඩකයන් බැංකුව වෙත ආකර්ෂණය කරගැනීමත්, සේවකයන්ට සිය ආයතනික වෘත්තීය ජීවිතය සමඟ සමගාමීව තම ක්‍රීඩා දක්ෂතා වර්ධනය කරගැනීමට සක්‍රීයව දිරිගැන්වීමත් තුළින්, කණ්ඩායම් හැඟීම, දරාගැනීමේ හැකියාව සහ පෞද්ගලික විශිෂ්ටත්වය පදනම් කරගත් සවිබල ගැන්වීමේ සේවා පරිසරයක් සෙලාන් බැංකුව අඛණ්ඩව ගොඩනඟමින් සිටී.

‘D’ කාණ්ඩයේ තරගකරුවන් ලෙස සිටි අවධියේ සිට ‘A’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වීම දක්වා කණ්ඩායම පැමිණි මෙම ඓතිහාසික ගමන, දිවයින පුරා විසිරී සිටින බැංකු සේවක පිරිසට ද අභිප්‍රේරණාත්මක ආදර්ශයක් සපයයි. එමඟින් සේවක අභිමානය තවදුරටත් ශක්තිමත් කරන අතර, සාමූහික කැපවීම සහ ආයතනික සහයෝගය එක් වූ විට දිගුකාලීන අභිලාෂයන් ශූරතා ජයග්‍රහණ බවට පරිවර්තනය කළ හැකි ආකාරය ද මනාව පෙන්නුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close