October 24, 2026
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවි බල ගැන්වීමට පෑන් ඒෂියා බැංකුව ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක් වෙයි
පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවි බල ගැන්වීමට පෑන් ඒෂියා බැංකුව ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක් වෙයි

Oct 24, 2026

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර හැකියා වර්ධනය කිරීමේ අරමුණෙන් පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ එක් වී විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් මහරගමදී සංවිධානය කළේය. බැංකුවේ තිරසාර සංවර්ධන අරමුණු සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනට මහරගම, කොට්ටාව, පිළියන්දල, හෝමාගම සහ අවට ප්‍රදේශවල ව්‍යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සහභාගි වූහ. පෑන් ඒෂියා බැංකුවේ ගනුදෙනුකරුවන් මෙන්ම ජාතික වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝද ඊට එක් වී සිටියහ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයන් සහ කාන්තා ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් පැවැත්වුණු මෙම වැඩමුළුවේදී මූලික මූල්‍ය සාක්ෂරතාව සහ බැංකු අවශ්‍යතා, ව්‍යාපාර සඳහා යහපාලන පිළිවෙත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රතිමූල්‍ය පහසුකම් සහ තිරසාර ව්‍යාපාර ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. මානව සම්පත් සංවර්ධන උපදේශකවරයෙකු, ආයතනික පුහුණුකරුවෙකු සහ බාහිර කථිකාචාර්යවරයෙකු වන ජගත් මිරියගල්ල මහතා වැඩමුළුවට දායකත්වය දුන්නේය. මානව සම්පත් කළමනාකරණය, අලෙවිය, අලෙවිකරණය, නායකත්වය සහ ආයතනික සංවර්ධනය යන ක්ෂේත්‍රවල වසර 30කට අධික වෘත්තීය අත්දැකීම් සම්භාරයක් ඔහු සතුය. පෑන් ඒෂියා බැංකුවේ සංවර්ධන බැංකු ඒකකයද වැඩමුළුව සඳහා සක්‍රීය දායකත්වයක් දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පවතින මූල්‍ය පහසුකම්, ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම සහ ව්‍යාපාර වර්ධනය සඳහා ගත හැකි බැංකු සේවා පිළිබඳව ව්‍යවසායකයන් දැනුවත් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉතා වැදගත් පාර්ශ්වයක් නියෝජනය කරනවා. ඔවුන් සවි බල ගැන්වීමට මූල්‍ය පහසුකම් දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය කිරීමට හා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය දැනුම, මඟ පෙන්වීම සහ සුදුසු මූල්‍ය විසඳුම් ඔවුන්ට දිය යුතුයි. වගකීම්සහගත ශ්‍රී ලාංකේය බැංකුවක් ලෙස ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ගමන් මඟේ සෑම අදියරකදීම ඔවුන්ගේ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වීම අපගේ අරමුණයි. ජාතික වාණිජ මණ්ඩලය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක් වී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ව්‍යවසායකයන් වෙත ප්‍රායෝගික දැනුම සමීප කරමින් ඔවුන්ගේ මූල්‍ය අවබෝධය, යහපාලන හැකියාව සහ අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය වැඩි දියුණු කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්ට සහ අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට අපේක්ෂා කරන ව්‍යාපාරවලට මෙම දැනුම නව වර්ධන අවස්ථා උදා කර ගැනීමට මහෝපකාරී වෙනවා.” ජාතික වාණිජ මණ්ඩලය සමඟ ඇති කර ගත් මෙම සහයෝගිතාව තුළින් ව්‍යවසායකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමටත්, අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ අත්දැකීම් තුළින් නව දැනුම ලැබීමටත් අවස්ථාව සැළැසිණි. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට මූල්‍ය ආයතන, වාණිජ මණ්ඩල සහ රාජ්‍ය අංශයේ පාර්ශ්වකරුවන් අතර සහයෝගිතාවේ වැදගත්කමද මෙම වැඩසටහනෙන් අවධාරණය කෙරිණි. මූල්‍ය සේවා සැපැයීමට පමණක් සීමා නොවී ව්‍යවසායකයන්ගේ දැනුම, කුසලතා සහ ව්‍යාපාර හැකියා වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසාර ඉදිරි ගමනට දායක වීම සඳහා පෑන් ඒෂියා බැංකුව දරන අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන හැඳින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close