September 7, 2026
Ceylon Green Vibe Creation සිනමා කර්මාන්තයට ආයෝජනය කරයි
පුවත්

Ceylon Green Vibe Creation සිනමා කර්මාන්තයට ආයෝජනය කරයි

Sep 7, 2026

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට නව පරිච්ඡේදයක් එක් කරමින් මහා පරිමාණ චිත්‍රපට නිෂ්පාදනය, නවීන තාක්ෂණයෙන් සමන්විත ස්මාර්ට් සිනමාහල් සහ නව චිත්‍රපට බෙදා හැරීමේ ජාලයක් ඒකාබද්ධ කළ පුළුල් සිනමා පරිසර පද්ධතියක් මෙරට ගොඩ නැගීම සඳහා Ceylon Green Vibe Creation සමාගම දැවැන්ත ආයෝජන වැඩපිළිවෙළක් අරඹයි. මෙම වැඩපිළිවෙළ යටතේ වසරක් තුළ උසස් ප්‍රමිතියෙන් යුත් වෘත්තාන්ත චිත්‍රපට 10ක් නිෂ්පාදනය කිරීමටත්, දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව අති නවීන තාක්ෂණ පහසුකම්වලින් සමන්විත ස්මාර්ට් සිනමාහල් ස්ථාපිත කිරීමටත් සමාගම සැළැසුම් කර ඇත. Ceylon Green Life Plantation (Pvt) Ltd නිර්මාතෘ සහ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්ස් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර නිෂ්පාදන සමඟ තරග කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඒවා විදේශීය සිනමා වෙළෙඳපොළ වෙත රැගෙන යාම මෙම පුළුල් ආයෝජන දැක්මේ ප්‍රධාන අරමුණක් බවයි. Ceylon Green Life Plantation සමාගමට අනුබද්ධ Ceylon Green Vibe Creation සිය ස්මාර්ට් සිනමාහල් ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සිනමා තාක්ෂණ විශේෂඥයන්ගේ දැනුම සහ අත්දැකීම් ගැනීමටද සැළැසුම් කර තිබේ.

සමාගමේ චිත්‍රපට නිෂ්පාදන සැළැස්ම මෙරට ප්‍රවීණ සිනමාකරුවන් මෙන්ම නව පරපුරේ නිර්මාණශීලී දක්ෂතාද එක් වේදිකාවකට ගෙන එයි. Ceylon Green Vibe Creationහි පළමු සිනමා නිෂ්පාදනය වන ‘Old Man’ ප්‍රවීණ සිනමාකරු කුමාර තිරිමාදුර රචනා කර අධ්‍යක්ෂණය කර ඇති අතර ‘18 වංගුව’ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කර තිබේ. ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා සිය අධ්‍යක්ෂණ දිවියේ මංගල පියවර සනිටුහන් කරමින් ‘ප්‍රේමියේ’ චිත්‍රපටයේ වැඩ කටයුතුද අවසන් කර තිබේ. එමෙන්ම ප්‍රධාන පෙළේ සිනමා නිෂ්පාදනයක් සඳහා ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක සමඟද සමාගම ගිවිසුමකට එළඹ ඇත. ආචාර්ය පීටර්ස් මහතා පෙන්වා දෙන්නේ සමාගමේ ආයෝජන සැළැස්ම චිත්‍රපට නිෂ්පාදනයට සහ ප්‍රදර්ශනයට පමණක් සීමා නොවන බවයි. සැළැසුම් කර ඇති ස්මාර්ට් සිනමාහල් ජාලයට සමගාමීව නව චිත්‍රපට බෙදා හැරීමේ ජාලයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සමාගම මේ වන විට අධ්‍යයනය කරමින් සිටී. ඒ හරහා දේශීය චිත්‍රපට නිෂ්පාදනය, බෙදා හැරීම සහ ප්‍රදර්ශනය එකිනෙකට සම්බන්ධ වූ වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම පද්ධතියක් ගොඩ නැගීම සමාගමේ අපේක්ෂාවයි. මෙම පුළුල් වැඩපිළිවෙළේ අවසන් ඉලක්කය වන්නේ ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර තලයේ වඩාත් තරගකාරී ස්ථානයකට රැගෙන යාමයි. ශ්‍රී ලංකාවේ අද්විතීය ස්වභාවික සුන්දරත්වය සහ දේශීය නිර්මාණශීලී දක්ෂතා ලෝකයට හඳුන්වා දෙමින් ජාත්‍යන්තර සිනමා වෙළෙඳපොළ හරහා රටට විදේශ විනිමය උපයා ගැනීමට නව අවස්ථා නිර්මාණය කිරීමද Ceylon Green Vibe Creationහි දිගු කාලීන දැක්මේ ප්‍රධාන අරමුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close