SLT-MOBITEL 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී සම්මාන තුනකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards 2026) සම්මාන තුනකින් පිදුම් ලැබීමට SLT-MOBITEL සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.
මෙහිදී SLT PLC සමාගම ‘Infrastructure & Utilities Sector’ කාණ්ඩයේ සහ ‘Excellence in Performance Management Criteria’ කාණ්ඩයේ අනුශූරතා සම්මාන දෙකකින් පිදුම් ලැබීය. මෙය මෙහෙයුම් විශිෂ්ටත්වය, ක්‍රමෝපායික නායකත්වය සහ නවෝත්පාදනය මෙන්ම, ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරන ජයග්‍රහණයකි.
එමෙන්ම මෙම සම්මාන උළෙලේදී ‘ICT Services Sector’ කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට E-Channelling PLC සමාගම සමත් විය. මෙය නවෝත්පාදනය සඳහා එම සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් එය ලබාදුන් දායකත්වය වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයුමකි. නවීන තාක්ෂණය ඔස්සේ ජනතාවට වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම, සේවා සම්පාදනය වැඩිදියුණු කිරීම සහ රෝගීන්ට, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට මෙන්ම පොදු ජනතාවට වැඩි වැඩියෙන් ප්රතිලාභ හිමිකර දීම සඳහා සමාගම දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මානය මඟින් මැනැවින් පිළිබිඹු වේ.
මෙම සම්මාන තුන SLT-MOBITEL සමූහය දුරකථන සන්නිවේදන, යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා යන ලබා ගෙන ඇති විශිෂ්ට ප්‍රගතියට සාක්ෂි දරයි. එමෙන්ම SLT-MOBITEL මේ වන විට නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාර වටිනාකම් නිර්මාණය ඔස්සේ වඩාත් පුළුල් තලයේ තාක්ෂණික හා ඩිජිටල් විසඳුම් සපයන්නෙකු බවට පරිවර්තනය වෙමින් පවතින බවද මෙම ඇගයීම් මඟින් තවදුරටත් තහවුරු වේ.
ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ ඉතා විධිමත් හා පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් තුළිනි. ස්වාධීන තාක්ෂණික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් විසින් අදියර කිහිපයක් ඔස්සේ සිදුකරනු ලබන ඇගයීමකින් අනතුරුව, ස්වාධීන විනිසුරු මඬුල්ලක් විසින් අවසන් ඇගයීම සිදුකරනු ලබයි. නායකත්වය, ක්‍රමෝපාය, ආයතනික යහපාලනය, මෙහෙයුම් කාර්යසාධනය, තිරසාරත්වය සහ සමස්ත ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය යන අංශවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන සමාගම් හා ආයතන මෙහිදී ඇගයීමට ලක් වේ. මෙම ඇගයීම් රාමුවේ සාර්ථකත්වය හේතුවෙන් මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතනික සම්මාන උළෙලක් ලෙස ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.
මෙම සම්මාන, පරිවර්තනීය ඉදිරි ගමනක් අතරතුර සිය පාරිභෝගිකයන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමස්ත දේශය වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. මෙම ඇගයීම් තුලින් පන්නරය ලබමින්, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් වඩාත් පුළුල් දායකත්වයක් ලබාදීම සමාගමේ අරමුණ වී තිබේ.

