August 5, 2026
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL ‘AI Amplified’ තේමාව යටතේ ‘Sri Lanka AI Week 2026’ දියත් කරයි
පුවත්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL ‘AI Amplified’ තේමාව යටතේ ‘Sri Lanka AI Week 2026’ දියත් කරයි

Aug 5, 2026

AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන අංගයන් සමගින් මෙය පැවැත්වෙනු ඇත

පසුගිය වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI Expo & Conference හි සාර්ථකත්වය පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL එක්ව, රටේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඉලක්ක ප්‍රායෝගික යථාර්ථයන් පරිවර්තනය කිරීම අරමුණු කරගෙන ‘Sri Lanka AI Week 2026’ පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙය නවීනතම AI නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමටත්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරිකයන්, පර්යේෂකයන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලු පාර්ශ්ව අතර සහයෝගීතාව වර්ධනය කිරීමටත් පසුබිම සකස් කරමින් ශ්‍රී ලංකාවේ AI ක්ෂේත්‍රයේ දියුණුව වේගවත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ඇත.

2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී පැවැත්වෙන ‘Sri Lanka AI Week 2026’ වැඩසටහනට ප්‍රධාන අංග 4 ක් ඇතුළත් වේ. ඒ අතරින් ‘AI Leaders Night’ යනු ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ C-suite මට්ටමේ විධායක නිලධාරීන් සඳහා විශේෂයෙන් සංවිධානය කරනු ලබන සම්බන්ධතා ගොඩනැංවීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකි. ‘AI Conference’ යනු AI ප්‍රතිපත්ති, ව්‍යවසාය පරිවර්තනය සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ ප්‍රධාන දේශන, සංවාද මණ්ඩප සහ වැඩමුළු ඇතුළත් දෙදින සමුළුවකි. ව්‍යාපාර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සාමාන්‍ය ජනතාව සඳහා විවෘත ‘AI Expo’ මඟින් සෞඛ්‍ය, මූල්‍ය සේවා, කෘෂිකර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා භාවිතයට ගත හැකි AI විසඳුම් ප්‍රදර්ශනය කෙරෙන අතර, එය කලාප කිහිපයකින් සමන්විත ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වේ. මීට අමතරව සජීවී ප්‍රදර්ශන සහ විශේෂිත Hackathon කලාපයක් ඔස්සේ නරඹන්නන්ට AI තාක්ෂණය සෘජුවම අත්විඳීමටත්, එය දෛනික ජීවිතයට අදාළ වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත් මෙහිදී අවස්ථාව සැලසෙනු ඇත.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස පැවැත්වෙන සම්මාන උළෙල යටතේ ව්‍යවසායන්, ආරම්භක මට්ටමේ ව්‍යාපාර, විශ්ව විද්‍යාල සහ රාජ්‍ය සේවය යන අංශ තුළ AI තාක්ෂණය විශිෂ්ට ලෙස භාවිතා කරන්නන් ඇගයීම සඳහා සම්මාන පිරිනැමීමට සලසුම් කර ඇති අතර, එහිදී National Awards, Industry Excellence, Innovation & Future සහ AI for Content යන සම්මාන කාණ්ඩ 4 යටතේ ක්ෂේත්‍ර 16 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය. AI තාක්ෂණය සැබෑ ලෝකයේ යහපත උදෙසා භාවිතා කරන පුද්ගලයන්, සංවිධාන, සමාගම් සහ ආයතන වෙත මෙම සම්මාන පිරිනැමෙනු ඇත.

මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා AI මඟින් ඉටු වන තීරණාත්මක කාර්යභාරය පෙන්වා දුන් ලද අතර, පෙරටත් වඩා පුළුල් ජාතික වැඩසටහනක් ලෙස මෙය දෙවැනි වසරටත් පැවැත්වීමේ වැදගත්කමද අවධාරණය කරන ලදි. එමෙන්ම, පළමු වැඩසටහනේ සිට මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු වූ අතර, ‘Sri Lanka AI Week 2026’ ඔස්සේ AI භාවිතය තවදුරටත් වේගවත් කරමින් සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ AI ඉලක්ක යථාර්ථයන් බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක සහ GovTech Sri Lanka හි සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා සහ SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් යන මහත්වරුන් ඇතුළුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, GovTech ආයතනයේ සහ SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

AI භාවිතය වේගවත් කිරීම සහ නවෝත්පාදනය පෝෂණය කිරීම සම්බන්ධයෙන් ‘Sri Lanka AI Week 2026’ වැඩසටහනේ දැක්මට අනුකූලව, SLT-MOBITEL විසින් AI මත පදනම් වූ නව වැඩසටහන් දෙකක් දියත් කිරීමද මෙම අවස්ථාවේදී සිදුකරන ලදි. ඉන් පළමුවැන්න වන SMART AI යනු දකුණු ආසියාවේ ප්‍රථම AI tokenisation පදනම වන අතර, ඒ ඔස්සේ පාරිභෝගිකයන්ට තම SLT-MOBITEL සම්බන්ධතාව හරහා සෘජුවම AI token credits මිලදී ගැනීමට හැකි වේ. මෙමඟින් පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා සහනදායී ගාස්තු යටතේ ප්‍රමුඛ පෙළේ AI මෙවලම් ලබාගැනීමට හැකි වනු ඇත. SMART AI හරහා AI තාක්ෂණය පොදු ජනතාව වෙත සමීප කරවීමටත්, සිසුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, නිර්මාණකරුවන් සහ ව්‍යාපාරවලට ඉගෙනීම, නවෝත්පාදනය, ඵලදායිතාව සහ වර්ධනය සඳහා AI භාවිතා කිරීමට අවස්ථාව උදාකර දීමටත් SLT-MOBITEL අපේක්ෂා කරයි.

මෙම වැඩසටහනට සමගාමීව SLT-MOBITEL විසින් ශ්‍රී ලංකාවේ ජාතික AI Engagement පදනම වන AI Hub ද නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. විධිමත් ලෙස පාලනය වන තනි ඩිජිටල් තාක්ෂණික පද්ධතියක් ඔස්සේ සිසුන්, පර්යේෂකයන්, විශ්ව විද්‍යාල, කර්මාන්ත සහ රජය සම්බන්ධ කරමින් රටේ AI පරිවර්තනය වේගවත් කිරීම සඳහා AI Hub නිර්මාණය කර තිබේ. මෙය AI දැනුම සහ කුසලතා සංවර්ධනය, පර්යේෂණ සහයෝගීතාව, වෘත්තීය අවස්ථා, නවෝත්පාදන, AI සම්පත්, ක්ෂේත්‍රයට අදාළ පුවත් සහ ආරක්ෂිත දත්ත හුවමාරුව වැනි බහුවිධ අරමුණු සහ ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකරනු ඇත. මෙමඟින් AI තාක්ෂණය ඉගෙනීමට, නවෝත්පාදන සිදු කිරීමට, සහයෝගීතාවන් ගොඩනංවා ගැනීමට සහ සැබෑ ලෝකයේ පවතින ගැටලු විසඳීම සඳහා AI යොදා ගැනීමට පරිශීලකයන්ට හැකියාව ලැබෙන අතරම, ජාතික මට්ටමේ AI කුසලතා සංචිතයක් ගොඩනැංවීමට, පර්යේෂණ සිදුකිරීමට සහ දත්ත මත පදනම් වූ නවෝත්පාදන වර්ධනය කිරීමට හැකියාව ලැබේ. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සවිබල ගන්වන ජීවමාන සහ තිරසාර AI තාක්ෂණ ක්ෂේත්‍රයක් ගොඩනැංවීම සඳහා තබන ලද තීරණාත්මක පියවරක් ලෙස හැඳින්විය හැක.

AI වගකීම් සහගත ලෙස භාවිත කිරීමේ වැදගත්කම මෙන්ම, අන්තර්ජාලය දරුවන්ට හිතකර ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම සහ සුරක්ෂිත ඩිජිටල් තාක්ෂණ අවකාශයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවද මෙම අවස්ථාවේදී පෙන්වා දෙන ලදි. AI සහ ඩිජිටල් නවෝත්පාදන මගින් ප්‍රතිලාභ රාශියක් හිමි වන අතරම, දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත ඩිජිටල් අත්දැකීමක් සහතික කිරීම කාගේත් පොදු වගකීමක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.

‘AI Amplified’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ‘Sri Lanka AI Week 2026’ වැඩසටහන, ජාතික ප්‍රමුඛතා ඔස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වඩාත් යහපත් තලයකට රැගෙන ඒමේ ක්‍රියාවලිය තුළ රජයේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස SLT-MOBITEL ඉටුකරන භූමිකාව මැනැවින් පිළිබිඹු කරන වැඩසටහනකි. ශ්‍රී ලංකාවට AI තාක්ෂණයේ හැකියාවන් තුළින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින්, කිසිදු භේදයකින් තොරව තිරසාර වර්ධනයක් ළඟා කරගැනීමට ජනතාවට සහ ව්‍යාපාරවලට සහාය වීම සඳහා සමාගම දිගින් දිගටම කටයුතු කරමින් සිටී.  

‘Sri Lanka AI Week 2026’ යනු හුදෙක් තාක්ෂණික වැඩසටහනකට සීමා නොවන සුවිශේෂී ජාතික මෙහෙවරකි. එය ව්‍යාපාරිකයන්, රජයේ සහ ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, මෘදුකාංග නිර්මාණකරුවන් සහ තාක්ෂණික සේවා සපයන්නන්, ආරම්භක මට්ටමේ ව්‍යාපාර සහ ආයෝජකයන්, විශ්ව විද්‍යාල සහ මහජනතාව ඇතුළු සියලුම පාර්ශ්වයන්ට එකම ජාතික වේදිකාවක් මතට කැඳවමින්, අදහස් හුවමාරු කර ගැනීමට, හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමට සහ කර්මාන්ත පරිවර්තනය වේගවත් කිරීමට අවස්ථාව උදා කර දෙනු ඇත. එමෙන් එය AI මඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට පුරවැසියන්ටද අවස්ථාව සලසා දෙමින්, ශ්‍රී ලංකාවේ අනාගතය AI මඟින් අවදානමකට ලක්වීම වෙනුවට තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්භාරයක් ඉටුකරනු නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close