July 31, 2026
ලංකා බැංකුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස යළිත් කිරුළු පළඳී
පුවත්

ලංකා බැංකුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස යළිත් කිරුළු පළඳී

Jul 31, 2026

Brand Finance Lanka වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරිණි. 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 14.1% වර්ධනයකි. තවද, ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම (Brand Rating) AAA  ලෙස සනිටුහන් වීම සුවිශේෂී කරුණකි.       

Brand Finance Lanka යනු ලොව කීර්තිමත් ස්වාධීන සන්නාම තක්සේරුකරණ ආයතනයක් වන එක්සත් රාජධානියේ Brand Finance ආයතනයට අනුබද්ධිත ආයතනයක් වන අතර, එම ආයතනය සන්නාම ආයෝජනය (Brand Investment), සන්නාම ප්‍රාග්ධනය (Brand Equity) සහ සන්නාම වර්ධනය (Brand Growth) යන කරුණු පදනම් කර ගනිමින් වාර්ෂිකව සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරයි. එමෙන්ම එම ආයතනය සවිස්තරාත්මක මූල්‍ය විශ්ලේෂණයක් සහ ස්වාධීන මහජන සමීක්ෂණයක් ද ඇතුළත්ව පදනම් වූ ක්‍රමවේදයක් හරහා අදාළ ශ්‍රේණිගත කිරීමේ කටයුතු සිදු කිරීම විශේෂිතය.

ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වීම සඳහා ආදායම් මගින් ලාභ උත්පාදනය පමණක් නොවන බවත්, ලංකා බැංකුව ක්‍රියාත්මක කළ සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තනය, මූල්‍ය සාක්ෂරතාවය, සමාජ සත්කාරක වැඩසටහන් මෙන්ම තිරසාරත්වය හා මහජන මතය ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම ආදී වශයෙන් බොහෝ කරුණු මෙම ජයග්‍රහණයට හේතු වී ඇති බවත් පැවැසිය යුතුම ය.

ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලමින්, ශ්‍රී ලාංකේය ජනතාවට අඛණ්ඩව සේවය කිරීම වෙනුවෙන් වසර 87ක් පුරා කැපවී සිටින ලංකා බැංකුව, දශක ගණනාවක් පුරාවට සියලු ජන කොටස් සමඟ ගොඩනඟාගත් විශ්වාසය, ස්ථාවරත්වය සහ අඛණ්ඩ ප්‍රගතිය මත ශ්‍රී ලංකාවේ  වටිනාම සන්නාමය ලෙස යළිත් වරක් පිළිගැනීමට ලක්විය.

ජාත්‍යන්තර මට්ටමින් ද සිය සන්නාම ශක්තිය තවදුරටත් තහවුරු කරමින්, 2026 වසරේ ලොව වඩාත්ම වටිනා බැංකු සන්නාම 500 අතරට ශ්‍රේණිගත වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස ලංකා බැංකුව නම් කෙරිණි.

ලංකා බැංකුවේ සන්නාම ශක්තිය පිටුපස එහි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සහ ජාතික ආර්ථිකයට ලබාදෙන සුවිශේෂී දායකත්වය ප්‍රධාන සාධක වී තිබේ. 2025 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 77ක බදු දායකත්වයක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික බදු ගෙවන්නා ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළ ලංකා බැංකුව, එම කාලසීමාව තුළ රුපියල් බිලියන 120.8ක බදු පෙර ලාභයක් ද වාර්තා කළේය. මෙම මූල්‍ය ප්‍රතිඵල බැංකුවේ මූල්‍ය ශක්තිය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ජාතික ආර්ථික වර්ධනයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය තවදුරටත් සනාථ කරයි.

ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දෙමින්, BOC Flex App හරහා රුපියල් ට්‍රිලියන 2කට අධික ගනුදෙනු වටිනාකමක් සහ මිලියන 2.5කට අධික පරිශීලකයන් වාර්තා කරමින් ගනුදෙනුකරුවන්ගේ සහ ගනුදෙනුකරුවන් නොවන පුද්ගලයන්ගේ බැංකුකරණ අත්දැකීම් නව මානයකට      රැගෙන යාමට ලංකා බැංකුව සමත්ව තිබේ. BOC Flex Tap & Pay ඇතුළු නවෝත්පාදන හඳුන්වාදෙමින්, වේගවත්, සරල හා ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් ලබාදීමට මෙන්ම මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ආර්ථිකයක් කරා රට යොමු කිරීම සඳහාද බැංකුව අඛණ්ඩව කැපවී සිටී.

තිරසාර සංවර්ධනය සඳහා වූ සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් මෙතෙක් නිකුත් කළ විශාලතම තිරසාර බැඳුම්කරය සාර්ථකව නිකුත් කිරීමට ද ලංකා බැංකුව සමත් විය.

එමෙන්ම, ආයතනික සමාජ වගකීම් ඉටු කිරීම සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත රුපියල් මිලියන 500ක පරිත්‍යාගයක් සිදු කළ අතර, ජාතික අභියෝග හමුවේ ජනතාවට සහාය වීම සඳහා ලංකා බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම එමඟින් යළිත් තහවුරු විය.

මූල්‍ය අන්තර්ගතකරණය තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ආවරණය  කළ ලංකා බැංකුව, ජනතාවට බැංකු පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කරමින් බැංකුකරණය ජනතාවට සමීප කිරීමට කටයුතු කර ඇත. ශාඛා, ස්වයං සේවා බැංකු පහසුකම්, ATM යන්ත්‍ර, CRM යන්ත්‍ර, ඩිජිටල් බැංකු සේවා මධ්‍යස්ථාන සහ BOC Connect නියෝජිත බැංකු සේවා මධ්‍යස්ථාන  ඇතුළු ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන 2,500 කට අධික ජාලයක් හරහා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමට ලංකා බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.

එමෙන්ම, එක්සත් රාජධානිය, ඉන්දියාව (චෙන්නායි), මාලදිවයින සහ සීෂෙල්ස් හි ස්ථාපිත අනුබද්ධිත ආයතන හා විදෙස් ශාඛා සමඟින් සිය ජාත්‍යන්තර පැවැත්ම තහවුරු කර ඇති ලංකා බැංකුව, දේශීය හා ගෝලීය වශයෙන් වඩාත් පහසු, විශ්වසනීය සහ නවීන බැංකු සේවා සැපයීම අඛණ්ඩව සිදු කරයි.

QR ගෙවීම් භාවිතය පුළුල් කිරීම, ඩිජිටල් බැංකු සේවා ශක්තිමත් කිරීම සහ ආරක්ෂිත ඉලෙක්ට්‍රොනික ගනුදෙනු දිරිමත් කිරීම වැනි  නවීන තාක්ෂණය මුසු වූ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට ලංකා බැංකුව නායකත්වයෙන් කටයුතු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙසේ පැවසීය.

 ” ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස නැවත වරක් පිළිගැනීමට ලක් වීම අපට ඉමහත් ගෞරවයක්, ශ්‍රී ලාංකික ජනතාව දශක ගණනාවක් පුරා ලංකා බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ජයග්‍රහණයේ මූලික පදනමයි. මෙම ජයග්‍රහණය අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ වසර ගණනාවක් පුරා අපගේ ගමනට සහාය දුන් සියලු ම  පාර්ශවකරුවන්ට අයත් වන බව පැවසිය යුතු ම යි.

අපගේ ඉදිරි ගමන් මගේ දී නවෝත්පාදනය, වගකීම් සහගත බැංකුකරණය, සේවා විශිෂ්ටත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට තිරසාර වටිනාකම් නිර්මාණය කරන සේවා හරහා අපගේ දායකත්වය ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් කැප වන බව අවධාරණය කිරීමට කැමතියි.”

මෙහි දි අදහස් දැක් වූ ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා පැවසුවේ මෙවන් අදහසකි.

 “ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස නැවත වරක් පිළිගැනීමට ලක්වීම, ලංකා බැංකුවේ ශක්තිමත් දැක්ම, අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් වූ කැපවීම සහ බැංකුව කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති නොසැලෙන විශ්වාසය පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයකි.

ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය අඛණ්ඩව විකාශනය වන වර්තමාන පරිසරය තුළ, ගනුදෙනුකාර කේන්ද්‍රීය, තාක්ෂණය මත පදනම් වූ සේවා සැපයීම සහ අඛණ්ඩ සේවා වැඩිදියුණු කිරීම් හරහා ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම කෙරෙහි අපි නිරන්තර අවධානය යොමු කර සිටිමු.

නවෝත්පාදන වැළඳ ගැනීමෙන්, අපගේ ඩිජිටල් හැකියා ශක්තිමත් කිරීමෙන් සහ  දශක අටකට වැඩි කාලයක් පුරා අපගේ අනන්‍යතාවය වූ විශ්වසනීයත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, අපි අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා නිරන්තරයෙන් දායක වන බවත් මේ අවස්ථාවේ දී පැවසීමට කැමතියි.

මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සමඟින් ඉදිරියට යන ලංකා බැංකුව, තිරසාර සංවර්ධනයට දායක වෙමින් සහ නවීන බැංකුකරණ විසඳුම් හරහා ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close