AI නිර්මාණයන් ගැන දැනගෙන සමාජමාධ්‍ය පරිහරණය කරන හැටි TikTok කියාදෙයි
පරිශීලකයන්ට වඩාත් ආරක්ෂිත ඩිජිටල් අත්දැකීමක් ලබාදීම සහතික කරනු පිණිස, TikTok තුළ ඇති AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවා තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට TikTok ආයතනය පියවර ගෙන ඇත. Generative AI තාක්ෂණය මඟින් අන්තර්ගතයන් නිර්මාණය කරන සහ ඒවා බෙදාහදා ගන්නා ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බැවින්, නව අධ්‍යාපනික සම්පත් හඳුන්වා දීම, ව්‍යාජ දත්ත හඳුනාගැනීමේ පද්ධති දියුණු කිරීම සහ ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම හරහා විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් කැපවී සිටියි.
AI තාක්ෂණය මඟින් නව නිර්මාණශීලීත්වයන් සහ ස්වයං-ප්‍රකාශන සඳහා නව අවස්ථා උදා කර දෙන අතරම, විශ්වාසවන්තභාවය සහ නිර්මාණකරුවන්ගේ සුරක්ෂිතභාවය සුරැකීමට මෙන්ම AI මඟින් ක්‍රියාත්මක වන අත්දැකීම් විශ්වාසයෙන් යුතුව ගවේෂණය කිරීමට උපකාර වන මෙවලම්, හවුල්කාරිත්වයන් සහ ආරක්ෂක ක්‍රමවේදයන් සඳහා TikTok ආයතනය අඛණ්ඩව ආයෝජනය කරනු ලබයි.
AI තාක්ෂණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීම, ගවේෂණය කිරීම සහ වගකීම් සහගතව නිර්මාණකරණයේ යෙදීම උදෙසා පරිශීලකයන් දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් TikTok විසින් හඳුන්වා දී ඇත. නිවැරදි තීරණ ගැනීමට මිනිසුන්ට උපකාර කිරීම ආරම්භ වන්නේ අධ්‍යාපනය සහ දැනුවත් කිරීම තුළිනි. ඒ අනුව, AI සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා TikTok විසින් News & Media Literacy Alliance (NAMLE) සහ ලෝක ප්‍රකට Deepfake පර්යේෂකයෙකු වන Henry Ajder සමඟ එක්ව ප්‍රායෝගික මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබේ. එමඟින් මිනිසුන්ට AI තාක්ෂණය වඩාත් හොඳින් තේරුම් ගැනීමට, AI මඟින් සකසන ලද ව්‍යාජ අන්තර්ගතයන් හඳුනා ගැනීමට AI මෙවලම් වගකීම් සහගතව භාවිත කිරීමට මඟ පෙන්වයි. ඉදිරි සති කිහිපය තුළදී TikTok ශ්‍රී ලංකාව වෙනුවෙන්ම විශේෂ in-app AI literacy hub හඳුන්වා දීමට නියමිතය. මෙහිදී මෙරට පරිශීලකයන් AI සම්බන්ධ ඕනෑම තේමාවක් සෙවීමේදී ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික තොරතුරු සහ උපදෙස් ඒ තුලින් ලබා ගැනීමට හැකි වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්ව TikTok හි ගෝලීය රාජ්‍ය ප්‍රතිපත්ති කණ්ඩායමේ AI අංශ ප්‍රධානී Tom Varghese මහතා සඳහන් කර සිටියේ “TikTok හරහා AI තාක්ෂණය අත්විඳින පරිශීලකයන්ට ඒ පිළිබඳව නිසි අවබෝධයක්, විශ්වාසයක් මෙන්ම පාලනයක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා. ඒ නිසාම මිනිසුන්ට AI මඟින් නිර්මාණය කරන ලද දේවල් පහසුවෙන් හඳුනා ගැනීමටත්, ඒවා නිර්මාණය කරන්නේ කෙසේදැයි වටහා ගැනීමටත් උපකාර වන තාක්ෂණයන්, සහයෝගීතාවයන් සහ අධ්‍යාපනික සම්පත් වෙනුවෙන් අප අඛණ්ඩව ආයෝජනය කරනවා,” යනුවෙනි. 2025 නොවැම්බර් මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට No Filtr සහ Raspberry Pi වැනි හවුල්කාර ආයතන විසින් නිපදවන ලද අධ්‍යාපනික වීඩියෝ මේ වන විට මිලියන 200 කට අධික නරඹන්නන් පිරිසක් දිනාගෙන ඇත. මේ වන විට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4 කට වඩා ආයෝජනය කිරීමට TikTok කටයුතු කර ඇති අතර, ලොව පුරා තවත් ප්‍රජාවන් වෙත මෙම සේවාව ව්‍යාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.
Generative AI තාක්ෂණය මඟින් මිනිසුන්ගේ නිර්මාණශීලීත්වයට නව අවස්ථා උදා වුවද, සැබෑ නිර්මාණකරුවන්ට සහ පරිශීලක අත්දැකීම්වලට බාධා වන අයුරින් මහා පරිමාණයෙන් ව්‍යාජ අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා ඇතැමුන් එය අනිසි ලෙස භාවිත කළ හැකිය. TikTok දිගින් දිගටම මෙවැනි ව්‍යාජ තොරතුරු තහනම් කිරීමට කටයුතු කරන අතර, මෙම වසරේ පළමු කාර්තුව තුළ පමණක් ව්‍යාජ ගිණුම් මිලියන 86 කට වඩා පද්ධතියෙන් ඉවත් කර ඇත.
ශ්‍රී ලංකාව පුරා සිටින නිර්මාණකරුවන් සිය රසික ප්‍රජාවන් දැනුවත් කිරීමට, විනෝදයක් ලබාදීමට සහ ඔවුන්ව දිරිමත් කිරීම සඳහා AI තාක්ෂණය ඉතාමත් සාර්ථකව වැළඳ ගනිමින් සිටිති. ඒ අනුව, @sanjayadilanka0, @nuwankvitz, @secret_shanu සහ @akila_weera වැනි දේශීය නිර්මාණකරුවන් විවිධ මාර්ගෝපදේශ, ප්‍රායෝගික නිරූපණයන් සහ අධ්‍යාපනික වීඩියෝ හරහා AI මෙවලම් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවා වඩාත් හොඳින් තේරුම් ගැනීමට ප්‍රේක්ෂකයන්ට උපකාර කරති. මෙම අලුත් තාක්ෂණයන් අපේ රටට ගැළපෙන සහ ආකර්ෂණීය අන්තර්ගතයන් ඔස්සේ ඉදිරිපත් කිරීම නිසා, අලුත් දේවල් ඉගෙන ගැනීමට, නව නිර්මාණ කිරීමට සහ තමන්ගේ නව අදහස් සැබෑ කර ගැනීමට AI තාක්ෂණය වගකීම් සහගතව භාවිත කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙයින් විශාල පිටුවහලක් ලැබේ.
වැඩි පිරිසක් AI මෙවලම් භාවිතයට යොමුවීමත් සමඟ, යම් අන්තර්ගතයක් AI මඟින් නිර්මාණය කළ එකක්ද නැතහොත් සැලකිය යුතු ලෙස වෙනස් කරන ලද එකක්ද යන්න හඳුනා ගැනීමට උපකාර වන තාක්ෂණයන් ශක්තිමත් කිරීමට TikTok කටයුතු කරයි. C2PA Content Credentials තාක්ෂණය ක්‍රියාවට නැංවූ ලොව ප්‍රථම වීඩියෝ වේදිකාව බවට පත්වූ TikTok දැන් එහි මෙහෙයුම් කමිටුවටද එක්වී ඇත්තේ සමස්ත ක්ෂේත්‍රය පුරාම විනිවිදභාවයෙන් යුත් AI ප්‍රමිතීන් ව්‍යාප්ත කිරීම සඳහාය. මේ වන විට, ක්‍රීඩකයන් විසින් යොදන ලද ලේබල සහ ඔවුන්ටම ආවේණික වූ නොපෙනෙන දිය සලකුණු ඇතුළු ක්‍රමවේද ඔස්සේ වීඩියෝ බිලියන 3කට වඩා ලේබල් කිරීමට TikTok සමත්වී ඇත. මෙම සියලු පියවරයන්, AI තාක්ෂණය හුදෙක් නිර්මාණශීලීත්වය සහ යහපත් පරිශීලක අත්දැකීම් සඳහාම පමණක් භාවිත වන මෙවලමක් බවට පත්කිරීමේ පුළුල් කැපවීමක කොටසකි. මීට අමතරව, ඔවුන් සිය ප්‍රජාව වෙනුවෙන් Smart Split සහ AI Outline වැනි නිර්මාණාත්මක AI මෙවලම් හඳුන්වා දී ඇති අතර, පරිශීලකයන්ට තමන් දකින AI වීඩියෝ ප්‍රමාණය තීරණය කිරීමට උපකාර වන Manage Topics වැනි විශේෂාංගද එක්කර තිබේ. AI තාක්ෂණය අඛණ්ඩව දියුණු වන විට, මිනිසුන්ට වඩාත් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සහ ඒවා නැරඹීමට උපකාර වන අධ්‍යාපනික හා නවෝත්පාදන කටයුතු සඳහා TikTok තවදුරටත් ආයෝජනය කරනු ඇත.

