July 23, 2026
සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 2.91 කබදු පසු ලාභයක් වාර්තා කරයි
පුවත්

සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 2.91 කබදු පසු ලාභයක් වාර්තා කරයි

Jul 23, 2026

සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුව සඳහා රු. මිලියන 4,548 ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 4,199 ට සාපේක්ෂව 8.31% ක වර්ධනයකි.

2026 මාර්තු මස 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ බදු පසු ලාභය රු. මිලියන 2,906 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 2,761 ට සාපේක්ෂව 5.25% ක වර්ධනයකි. 

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ රු. මිලියන 8,587 ක් වූ ශුද්ධ පොලී ආදායම මෙම වසරේ පළමු මාස 3 තුළ රු. මිලියන 9,734  දක්වා 13.37% කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 12 ක කාලය තුළ බැංකුවේ වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක් සිදුවීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 2025 පළමු කාර්තුව අවසානයේදී රු. බිලියන 785 ක් වූ සෙලාන් බැංකුවේ වත්කම් පදනම 2026 මාර්තු 31 වන විට රු. බිලියන 943 දක්වා ඉහළ ගොස් ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය 2025 වසරේදී වාර්තා වූ 4.50% ට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී 4.23% ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම රු. මිලියන 1,863 සිට  සිට රු. මිලියන 2,311 දක්වා 24.04% කින් වර්ධනය වී ඇති අතර, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවා සහ අනෙකුත් මූල්‍ය සේවා මගින් ලැබුණු ගාස්තු ආදායම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

වෙළඳ කටයුතු මඟින් ලැබෙන ශුද්ධ ලාභ / අලාභ, මූල්‍ය වත්කම් ඉවත් කිරීම මඟින් ලැබෙන ශුද්ධ ලාභ සහ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම ඇතුළත් අනෙකුත් ආදායම් කාණ්ඩ, ප්‍රධාන වශයෙන් රජයේ සුරැකුම්පත් සහ කොටස් ආයෝජනවලින් ලැබුණු ලාභ, වෙළෙඳපොළ පොලී අනුපාතය සහ මිල වෙනස්වීම් හේතුවෙන් අඩුවීමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් විදේශ විනිමය වෙළඳ ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් විදේශ විනිමය ආදායම වර්ධනය විය.

බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 10,994 ට සාපේක්ෂව මෙම කාලපරිච්ඡේදය තුළ 12.57% කින් ඉහළ ගොස් රු. මිලියන 12,375 ක් ලෙස වාර්තා වී තිබේ. ශුද්ධ පොලී ආදායම, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ඉහළ යාම  මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

සමස්ත මෙහෙයුම් පිරිවැය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 5,135 ට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී රු. මිලියන 6,131 දක්වා 19.40% කින් වර්ධනය වී තිබේ. කාර්ය මණ්ඩලය සම්බන්ධ වියදම් ඉහළ යාම හේතුවෙන් මානව සම්පත් පිරිවැය රු. මිලියන 2,806 සිට රු. මිලියන 3,238 දක්වා 15.41% කින් ඉහළ ගොස් ඇත. අදාළ කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිලගණන් ඉහළ යාම, කාඩ්පත් සම්බන්ධ පිරිවැය සහ වෙනත් අදාළ සේවාවන් සම්බන්ධ පිරිවැය ඉහළ යාම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැය සහ ක්ෂය වීම් පිරිවැයද 24.21% කින් ඉහළ ගොස් තිබේ. විවිධ පිරිවැය පාලන ක්‍රමවේදයන් ඔස්සේ මෙම පිරිවැය අවම කරගැනීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී.

2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 225 ට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී බැංකුවේ ණය හා අත්තිකාරම් හානිකරණ වියදම රු. මිලියන 100 දක්වා 55.57% කින් අඩු වී තිබේ.  මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ වත්කම් ගුණාත්මකභාව අනුපාත වන හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.01% ක් වූ අතර (2025 – 1.03%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2026 මාර්තු 31 දින වන විට 86.23% ක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක පැවතිණි.

ආදායම් බදු පිරිවැය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 1,438 ට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී රු. මිලියන 1,643 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද  පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 1,260 සිට රු. මිලියන 1,402 දක්වා ඉහළ ගොස් තිබේ. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රු. මිලියන 175 සිට රු,. මිලියන 195 දක්වා ඉහළ ගිය අතර මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 11.25% ක වර්ධනයකි.

2026 පළමු කාර්තුවේදී බැංකුව රුපියල් මිලියන 2,906 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 5.25% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2026 පළමු කාර්තුවේදී රු. බිලියන 921  සිට රු. බිලියන 943 දක්වා ස්ථාවර වර්ධනයක් අත්කරගෙන තිබේ. එමෙන්ම තම ගනුදෙනුකරුවන් එලෙසින්ම රඳවාගන්නා අතරම බැංකු ණය සහ තැන්පතු සේවාවන් ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටද බැංකුව පියවර ගෙන ඇත. බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. බිලියන 628 දක්වා සහ තැන්පතු රු. බිලියන 743 දක්වා වර්ධනය වී තිබේ. සිය ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) 28% මට්ටමේ පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක

සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක 2026 මාර්තු 31 දින වන විට යහපත් මට්ටමක පැවතුණු අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පැහැදිළි ලෙසම නියාමන අවශ්‍යතාවන්ට ඉහළින් පැවතිණි. බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio & Total Tier 1 Capital Ratio) 11.40% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 16.38% ක් වූ අතර, එය ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් බැංකුව සතු බවට මනා සාක්ෂියකි.   

ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය 192.49% ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 188.30% ක් විය.

මෙම සමාලෝචනයට අදාළ වර්ෂය තුළ සෙලාන් බැංකුවේ හිම්කම් මත ප්‍රතිලාභය 14.39% (2025 – 15.89%) ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර ලාභය) 1.98% (2024 – 2.31%) ක් විය.

බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම 2026  පළමු කාර්තුවේදී රු. 4.57 ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා වූයේ රු. 4.34 ක් වශයෙනි. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම 2026 මාර්තු 31 දින වන විට රු. 128.86 ක් (සමූහයේ රු. 132.17 ක්) විය.

2026 පළමු කාර්තුවේදී සෙලාන් බැංකුව විසින් ‘සෙලාන් පැහැසර’ පුස්තකාල 2 ක් විවෘත කරන ලදී. ඒ අනුව දැන් දිවයින පුරා විවෘත කර ඇති සෙලාන් පැහැසර පුස්තකාල සංඛ්‍යාව 291 ක් බවට පත් වී තිබේ. මෙය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල්වල පුස්තකාල ගොඩනැංවීම තුළින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි.

ෆිච් ශ්‍රේණිගත කිරීම් (Fitch Ratings) මගින් සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පියවර දෙකකින්, එනම් ස්ථාවර ප්‍රතිරූපය (Stable Outlook) සමග ‘A+(lka)’ දක්වා 2025 වර්ෂය තුළ උසස් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close