July 7, 2026
පන්ති කාමරයට නිර්මාණශීලීත්වය: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ කලාපීය සංවාදයක්
පුවත්

පන්ති කාමරයට නිර්මාණශීලීත්වය: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ කලාපීය සංවාදයක්

Jul 6, 2026

British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයින් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්.

British Council විසින් South Asia TeachingEnglish Online Conference 2026 වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදි. නොමිලේ දින තුනක් පුරා මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම සමුළුවේදී, දකුණු ආසියානු කලාපය පුරා විසිරී සිටින අධ්‍යාපනවේදීන්, පර්යේෂකයන් සහ ගුරුවරුන් පුහුණු කරන්නන් එක් වී වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන වඩාත්ම බරපතළ ගැටලුවලින් එකක් සාකච්ඡාවට බඳුන් කරනු ඇත. එම ගැටලුව නම්,  ක්‍රමයෙන් සංකීර්ණ වන ලෝකයක් තුළ අත්‍යවශ්‍ය සාධක වන නිර්මාණශීලීත්වය, අනුවර්තනය වීමේ හැකියාව සහ සන්නිවේදන කුසලතාවන් සිසුන් තුළ වර්ධනය කරවීම සඳහා පාසල් පියවර ගත යුත්තේ කෙසේද යන්නයි.

මෙම මාර්ගගත සමුළුව 2026 ජූලි 23 සිට 25 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙය පැවැත්වෙනුයේ දකුණු ආසියාවේ රටවල් රැසක අධ්‍යාපන ක්ෂේත්‍රයන් විෂයමාලා අභියෝග, විභාග පීඩන සහ ඉගෙනුම් අවශ්‍යතා වෙනස් වීම යන අභියෝගවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවකය. ඉංග්‍රීසි භාෂාව තවමත් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා සඳහා තීරණාත්මක සාධකයක් ලෙස පවතින අතර, අධ්‍යාපනවේදීහු භාෂාවන් ඉගෙනීමේ සීමාවෙන් ඔබ්බට ගොස් විචාරශීලී චින්තනය සහ සහයෝගීතාව මෙන්ම අධ්‍යාපනය තුළ සිසුන්ගේ භූමිකාව හා සහභාගීත්වය දිරිගන්වන ක්‍රමවේද ගවේෂණය කරමින් සිටිති.

මෙවැනි පසුබිමක් තුළ මෙම සමුළුව බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල අධ්‍යාපනවේදීන් එකම වේදිකාවකට රැගෙන එමින්, වඩාත් ගැඹුරු අධ්‍යාපනයක් සඳහා තීරණාත්මක සාධකයක් ලෙස නිර්මාණශීලීත්වය මඟින් ඉටුවන මෙහෙවර සම්බන්ධ කතිකාවක් නිර්මාණය කරනු ඇත. මෙම කතිකාව තුළදී කාටත් විවෘත බහුභාෂා පන්ති කාමර නිර්මාණය කරන ආකාරය, නව්‍ය අධ්‍යාපනික ක්‍රම හරහා සිසුන්ගේ හඬට වැඩි ඉඩක් ලබාදිය හැකි ආකාරය සහ මානව කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රම බැහැර කරනු වෙනුවට ඒවා වැඩිදියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය ඇතුළු නැගී එන තාක්ෂණයන් යොදා ගත හැකි ආකාරය සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සමුළුවේදී දේශන, සාකච්ඡා සහ පන්ති කාමර සිද්ධි අධ්‍යයනයන් හරහා, දකුණු ආසියාවේ විවිධ රටවල පුරෝගාමී ගුරුවරුන්, කලාපයේ බොහෝ දෙනා පොදුවේ මුහුණ දෙන අභියෝගවලට දේශීය විසඳුම් සොයාගෙන ඇති ආකාරය සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත. එමෙන්ම මෙම වැඩසටහන මඟින් ගුරුවරුන්ට වඩාත් ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීමට, අර්ථවත් සහභාගීත්වය දිරිමත් කිරීමට සහ විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන් සඳහා  වඩාත් ඵලදායී අධ්‍යාපන අවස්ථා උදාකර දීමට උපකාරී වන ප්‍රායෝගික ප්‍රවේශයන් ඉස්මතු කෙරෙනු ඇත.

“වාර්තමාන ලෝකයේ සිසුන්ට සාර්ථක වීමට අත්‍යවශ්‍ය සන්නිවේදනය, සහයෝගීතාව සහ විචාරශීලී චින්තනය යන කුසලතා වර්ධනය කරගැනීමේදී නිර්මාණශීලීත්වය යන සාධකය වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. South Asia TeachingEnglish Online Conference 2026 වැඩසටහන තුළදී කලාපය පුරා විසිරී සිටින අධ්‍යාපනවේදීන් එකම වේදිකාවකට රැගෙන එමින්, තමන්ට අනන්‍ය වූ තත්වයන්ට අනුව හැඩගස්වාගත හැකි ප්‍රායෝගික අදහස්, පර්යේෂණ පාදක කරගත් ප්‍රවේශයන් සහ පන්ති කාමර ක්‍රමෝපායන් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි. මෙම අවස්ථාව නොමිලේ ලබාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වන අතර, දකුණු ආසියාවේ සහ වෙනත් කලාපවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාමාජිකයක් මෙම වැඩසටහනට සාදරයෙන් පිළිගැනීමට අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා,”  British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා පැවසීය. South Asia TeachingEnglish Online Conference යනු ගුරුවරුන්ගේ සංවර්ධනයට අත්වැලක් වීම සහ දකුණු ආසියානු කලාපයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධ කතිකාවන් දිරිගැන්වීම සඳහා British Council දරමින් සිටින පුළුල් ප්‍රයත්නයක එක් වැදගත් පියවරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close