ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම උදෙසා SLIIT සහ MAS Athlete Training Academy අතර ඓතිහාසික හවුල්කාරිත්වයක්!
ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්රගතිශීලී වර්ධනය උදෙසා MAS Athlete Training Academy සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සුවිශේෂී උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. පසුගිය වර්ෂයේ අගභාගයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින්, MAS Athlete Training Academy හි නිල උසස් අධ්‍යාපන සහකරු ලෙස SLIIT ආයතනය නිල වශයෙන් පත් කර ගන්නා ලදී.
මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ දක්ෂ ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම අධ්‍යාපන අභිලාෂයන් සහ ක්‍රීඩා දක්ෂතාවන් අතරින් එකක් පමණක් තෝරා ගැනීමට සිදුවන තත්ත්වය සහමුලින්ම මඟහැරවීමයි. ඒ වෙනුවට, ක්‍රීඩකයන්ට තම ක්‍රීඩා පුහුණුවීම් බාධාවකින් තොරව ඉහළම මට්ටමින් කරගෙන යන අතරතුර උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙන විධිමත් ද්විත්ව වෘත්තීය මාවතක් මේ හරහා නිර්මාණය වේ.
මේ යටතේ, MAS Athlete Training Academy හි සුදුසුකම් ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වසර 8 ක කාලයක් පුරා වාර්ෂිකව පූර්ණ උපාධි ශිෂ්‍යත්ව 5 බැගින් පිරිනැමීමට SLIIT කටයුතු කරනු ඇත. මෙම ශිෂ්‍යත්ව මඟින් ක්‍රීඩකයන්ට අර්ථවත් අධ්‍යාපන අවස්ථා සහ ස්ථාවරත්වයක් ලබා දෙන අතර, ඔවුන්ගේ ක්‍රීඩා දිවිය සමඟින් වෘත්තීය සුදුසුකම් ගොඩනඟා ගැනීමට ද මහෝපකාරී වේ.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපකුලපති, මහාචාර්ය ලලිත් ගමගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා SLIIT සහ MAS අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් එකක් බව මම තරයේ විශ්වාස කරමි. නැගී එන ක්‍රීඩා දක්ෂතා පෝෂණය කිරීම අපගේ තරුණ පරපුර තුළ විනය, චිත්ත ශක්තිය සහ ජාතික අභිමානය වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වේ. අපගේ අභිලාෂය වන්නේ ඔලිම්පික් ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි නියෝජනය කරමින් පදක්කම් දිනාගත හැකි, ශ්‍රී ලංකා නාමය ලෝක තලයේ රන් අකුරින් සනිටුහන් කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමයි. මෙම සුවිශේෂී පියවර, අපේ මීළඟ පරපුරේ පූර්ණ වර්ධනය උදෙසා සහ ඔවුන් සතු උපරිම හැකියාවන් කරා ළඟා වෙමින් රටේ අනාගතයට ධනාත්මක දායකත්වයක් සැපයීමට ඔවුන් බලගැන්වීම වෙනුවෙන් අප දක්වන කැපවීම මනාව සනාථ කරන්නකි.”
මූල්‍යමය අනුග්‍රහයට එහා යමින්, මෙම සහයෝගීතාවය ක්‍රීඩකයන්ගේ සුභසාධනය සහ දක්ෂතා වර්ධනය වෙනුවෙන් සර්වගාමී ප්‍රවේශයක් ලබා දෙයි. MAS Athlete Training Academy විසින් සපයනු ලබන විධිමත් පුහුණුකරණය, තරඟකාරී අවස්ථා, ක්‍රීඩා විද්‍යාත්මක සහය, පෝෂණ උපදෙස් සහ මානසික සුවතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් සමඟ, SLIIT ආයතනයේ අධ්‍යයන සම්පත්, විශිෂ්ට අධ්‍යාපන වටපිටාව සහ වෘත්තීය සංවර්ධන අවස්ථා මෙහිදී බද්ධ කරනු ලැබේ. මෙමඟින් සමබර, අභියෝගවලට නොසැලෙන සහ අනාගතයට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තිකයන් පිරිසක් බිහි කිරීම දෙපාර්ශ්වයේම අරමුණයි.
මෙම හවුල්කාරිත්වය 2028 Los Angeles සහ 2032 Brisbane ඔලිම්පික් උළෙල ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දිය හැකි ක්‍රීඩකයන් බිහි කිරීමේ පුළුල් ජාතික අභිලාෂය සමඟ ද මනාව අනුගත වේ. අධ්‍යයන ප්‍රගතිය සහ ඉහළ කාර්යසාධනයක් සහිත ක්‍රීඩා පුහුණුව එකට ඒකාබද්ධ කිරීම තුළින්, ජාත්‍යන්තර තලයේ අඛණ්ඩව රැඳී සිටීමට අවශ්‍ය ශක්තිමත් පදනම මේ හරහා ගොඩනැගේ.
සුවිශේෂී කරුණ නම්, මෙම එකඟතාවය හුදු පොරොන්දුවකට පමණක් සීමා නොවී මේ වන විටත් සක්‍රීය ක්රියාකාරීත්වයකට පරිවර්තනය වී තිබීමයි. දැනටමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු SLIIT ආයතනය වෙත ලියාපදිංචි වී තම අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති අතර, ඉදිරි බඳවා ගැනීම් සඳහා ද සුදුසුකම් ලත් පිරිස හඳුනාගෙන ඇත. මෙම කඩිනම් ක්‍රියාවලිය, ඔවුන්ගේ දැක්ම ප්‍රායෝගික හා මැනිය හැකි ප්‍රතිඵල බවට පත් කිරීමට දෙපාර්ශ්වය තුළ ඇති දැඩි උනන්දුව මනාව පැහැදිලි කරයි.
SLIIT සහ MAS Athlete Training Academy අතර ඇති වූ මෙම සහයෝගීතාවය, ක්‍රීඩකයන්ගේ සුභසාධනය සහ ජාතික ක්‍රීඩා ක්ෂේත්රයේ සාර්ථකත්වය වෙනුවෙන් කරන ලද උපායමාර්ගික ආයෝජනයකි. අධ්‍යයන ජයග්‍රහණ සහ ඉහළ ක්‍රීඩා කෞෂල්‍යය එකිනෙක පෝෂණය වන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම හරහා, ජාත්‍යන්තර තලයේ තරඟ වදින අතරම තම අනාගතය ද සුරක්ෂිත කරගත්, උගත්, විනයගරුක සහ ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩක පරපුරක් රටට දායාද කිරීමට මෙම සුවිශේෂී පියවර මඟ පාදනු ඇත.

