June 4, 2026
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL6 වන අදියර හැඩකරන්න ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් එක්වෙයි
පුවත්

ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL6 වන අදියර හැඩකරන්න ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් එක්වෙයි

Jun 4, 2026

Lanka Premier League (LPL) ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, ජුනි 1 වනදා කොළඹදී පැවති නියමිත නිල ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වී තිබේ. 2026 තරඟාවලිය වෙනුවෙන් මෙලෙස කණ්ඩායම් කලින්ම තෝරාගත් ප්‍රබල ක්‍රීඩකයින්ගේ ලේඛන තහවුරු කර ඇති අතර, ඉන්දීය ක්‍රීඩක විජේ ශංකර් ද මෙවර Kandy Royals කණ්ඩායම සමඟ නිල වශයෙන් එක්ව ඇත.

2026 LPL තරඟාවලිය එළඹෙන ජූලි 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් පහක් තරඟ වදින අතර, මූලික වටයේ තරඟ 20ක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව පිළිමලුන් පිටුදැකීමේ වටයේ තරඟ සහ අවසාන මහා තරඟය පැවැත්වෙනු ඇත.

මෙවර කලින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් දෙස බැලීමේදී, ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩකයින්, T20 තරග රටාවේ අති දක්ෂ ක්‍රීඩකයින් මෙන්ම නැගී එන තරුණ ක්‍රීඩකයින් අතර ද LPL තරඟාවලියට ඇති ඉල්ලුම බෙහෙවින් වැඩි වී ඇති බව මනාව පැහැදිලි වේ. ඒ අනුව, ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවකට පසු, හිටපු ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් Kandy Royals කණ්ඩායමට සමඟ එක්ව තිබේ. ඔහුගේ පැමිණීම Kandy Royals කණ්ඩායමට විශාල ජාත්‍යන්තර අත්දැකීමක් මෙන්ම ශක්තියක් එක් කරනු නිසැකය.

2023 වසරේ LPL ශූරයින් වූ Kandy Royals කණ්ඩායම, මෙවර ඉතාමත් සමබර ක්‍රීඩකයින්ගෙන් සමන්විතය. මෙම කණ්ඩායමට වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, මොයින් අලි සහ විජේ ශංකර් ඇතුළත් වේ. මෙවර ක්‍රීඩක සංයුතිය මගින් Kandy Royals කණ්ඩායමට ශක්තිමත් නායකත්වයක්, දේශීය මෙන්ම විශිෂ්ට තුන්ඉරියව් දක්ෂතාවලින් පිරි ජාත්‍යන්තර T20 ලීග් තරඟාවලි පිළිබඳ ඉහළ අත්දැකීමක් ද හිමිවනු ඇත.

මෙලෙස කණ්ඩායම් විසින් කලින් ගිවිසුම්ගත වූ ප්‍රධාන ක්‍රීඩකයින් අතරින්, 2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ පාකිස්ථාන පිතිකරු සහිබ්සාදා ෆර්හාන් Dambulla Sixers කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇත. ඔහුට අමතරව දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර ද Dambulla Sixers කණ්ඩායම සමඟ එක්ව තිබේ. මේ හේතුවෙන් පිතිකරණය මෙන්ම පන්දු යැවීම යන අංශ දෙකෙන්ම ඉතාමත් ප්‍රබල ක්‍රීඩක එකතුවක් Dambulla Sixers කණ්ඩායම සතුව ඇත.

සිව්වරක්ම LPL ශූරයින් වූ Jaffna Kings කණ්ඩායම, බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් තම කණ්ඩායම එක් කරගෙන ඇත. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන භානුක රාජපක්ෂ සහ දුනිත් වෙල්ලාලගේ ද Jaffna Kings කණ්ඩායම සමඟ එක්වීම හේතුවෙන් කණ්ඩායම තවත් ශක්තිමත් වී තිබේ. 

Colombo Kaps කණ්ඩායම ද නවසීලන්ත තුන්ඉරියව් ක්‍රීඩක ජිමී නිෂම් සහ ඔස්ට්‍රේලියානු පිතිකරු බෙන් මැක්ඩර්මට් කණ්ඩායම සමඟ කලින් ගිවිසුම්ගත වෙමින් මෙවර තරඟාවලිය සඳහා ප්‍රබල සූදානමකින් පසුවෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දක්ෂ පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් ද Colombo Kaps සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතය. මේ අතර, දසුන් ශානක, එෂාන් මාලිංග, සිම්බාබ්වේ තුන්ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකානු පිතිකරු රාසි වැන්ඩර් ඩසන් යන ක්‍රීඩකයින් Galle Gallants කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව සිටී.

කණ්ඩායම් සතු මෙම ප්‍රබල ක්‍රීඩකයින් පිළිබඳව අදහස් දක්වමින් LPL තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා මෙසේ පැවසීය. ”මෙවර LPL තරඟාවලියට එකතු වී සිටින ක්‍රීඩකයින්ගේ ඉහළ දක්ෂතා දෙස බැලීමේදී, ලෝකයේ තරඟකාරී T20 තරඟාවලියක් ලෙස LPL ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම මනාව පැහැදිලි වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් මෙන්ම ලෝකයේ අත්දැකීම් බහුල ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද මෙවර එක් කරගැනීමට හැකි වීම තරඟාවලියට විශාල වටිනාකමක්. මේ නිසා කණ්ඩායම් අතර තරඟකාරීත්වය තව තවත් ඉහළ නංවන අතර, ක්‍රීඩා ලෝලීන්ට ද ඉතාමත් ඉහළ මට්ටමේ උද්යෝගිමත් ක්‍රිකට් තරඟාවලියක් නැරඹීමට අවස්ථාව උදාවනවා.” යනුවෙනි.

IPG සමූහයේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “LPL 6 වන අදියර මෙතෙක් පැවැත්වුණු සාර්ථකම සහ ප්‍රබලම තරඟාවලියක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. කලින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ඉහළ දක්ෂතා දෙස බැලීමේදී, ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් ද මෙම තරඟාවලිය කෙරෙහි කෙතරම් විශ්වාසයක් තබා ඇත්දැයි පැහැදිලි වනවා. අපගේ එකම අරමුණ LPL තරඟාවලිය මූල්‍යමය වශයෙන් ශක්තිමත්, ඉහළ වෘත්තීය මට්ටමකින් පාලනය වන සහ මුළු ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂී ක්‍රිකට් සන්නාමයක් ලෙස ඉදිරියටම රැගෙන යාමයි.” යනුවෙනි.

ප්‍රබල කණ්ඩායම් හිමිකාරීත්වය, පුළුල් මාධ්‍ය සහ සන්නිවේදන ජාලය මෙන්ම දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සුසංයෝගය හේතුවෙන් මෙවර LPL 6 වන අදියර ඉතාමත් උද්වේකර හා තරඟකාරී මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, ලෝක T20 ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම තරඟාවලිය මනා පිටුවහලක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close