May 22, 2026
ලංකා බැංකුව කිරි වෙහෙර සහ කතරගම දේවාල පරිශ්‍රයේ  ඩිජිටල් පිං කැට ස්ථාපනය කරයි
පුවත්

ලංකා බැංකුව කිරි වෙහෙර සහ කතරගම දේවාල පරිශ්‍රයේ  ඩිජිටල් පිං කැට ස්ථාපනය කරයි

May 22, 2026

රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන ලංකා බැංකුව, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට අනුකූල ව, එදිනෙදා ජීවිතයේ දී  ආරක්ෂිත,   වඩාත් පහසු මෙන් ම නවමු QR ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දීම සහ ප්‍රවර්ධනය අඛණ්ඩ ව සිදු කරයි.

ඒ අනුව පූජනීය කිරිවෙහෙරේ දී සහ ඓතිහාසික කතරගම දේවාල පරිශ්‍රයේ දී බැතිමතුන්ට QR ගෙවීම් හරහා වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිත ව සිය පරිත්‍යාග ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට සහයෝගය ලබා දීම අරමුණු කරමින්, ලංකා බැංකුව විසින් එම පූජනීය ස්ථානවල ඩිජිටල් පිං කැට ස්ථාපනය කිරීම  පසු ගිය දා සිදු කෙරිණි. මේ හරහා අදාළ පරිත්‍යාග සුරක්ෂිත බවින් හා විනිවිද භාවයෙන් යුතු වීම,  ඍජු ව ම බැංකු ගිණුම් ගත වීම, SMS පණිවුඩ මඟින් අදාළ බලධාරියා දැනුවත් කිරීම, භෞතික මුදල් භාවිතය අවම වීම, විගණනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකස් වීම වැනි ප්‍රතිලාභ රැසක් ලැබීම විශේෂිත වේ.

කතරගම කිරි වෙහෙර පරිශ්‍රයේ ඩිජිටල් පිං කැටය ස්ථාපනය කිරීම, කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, හම්බන්තොට දිස්ත්‍රික් සඟ සමුළුවේ ගරු සභාපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පූර්වක ව,  සිදු කෙරුණු අතර, එම සද්කාර්යය සහ ඊට සමගාමී ව සිදු කෙරුණු ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ ඩිජිටල් පිං කැටය ස්ථාපනය කිරීම, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් තිළිණ මධුශංක මැතිතුමාගේ එකඟතාවෙන් ද, එහි  පරිපාලන නිලධාරී ඊ. එම්. සනත් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් ද,ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතාගේ සුරතින් ද විවෘත කෙරුණු අතර , වැඩබලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන හා ශාඛා බැංකුකරණ) භද්‍ර කල්‍යාණප්‍රිය ගුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත් මෙහෙයුම්) ධම්ම විජයවර්ධන, ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ඩී. ලියනගේ සහ නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා) කුමුදුනී ජේ. යෝගරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු දකුණු පළාත් ලංකා බැංකු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද සහභාගි වූහ.

කිරි වෙහෙර පරිශ්‍රයේ දී සහ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ දී ස්ථාපිත, සුරක්ෂිත, පහසු හා නවීන තාක්ෂණය මුසු වූ  මෙම ඩිජිටල් කැට ඔස්සේ පඬුරු පූජා කිරීමට  බැතිමතුන්ට අවස්ථාව උදා  වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close