May 9, 2026
අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සමඟ CEPA 25 වසරක් සනිටුහන් කරයි
පුවත්

අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සමඟ CEPA 25 වසරක් සනිටුහන් කරයි

May 9, 2026

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය හෙවත් Centre for Poverty Analysis (CEPA) සිය 25 වන සංවත්සරය සනිටුහන් කරමින් අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය” යන තේමාව යටතේ ජාත්‍යන්තර සමුළුවක් 2026 මැයි 07 සහ 08 දෙදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීය. මෙම සමුළුව CEPA විසින් ආසියානු සංවර්ධන බැංකුව සහ ODI Global සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකාව සහ විදේශීය රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, සංවර්ධන හවුල්කරුවන්, විද්වතුන්, ක්ෂේත්‍රයේ නියුතු ප්‍රායෝගික විශේෂඥයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් එක්රැස් කළ මෙම දෙදින සමුළුව, ආර්ථික, සමාජ, දේශගුණික සහ භූදේශපාලනික අර්බුද හමුවේ දුර්වල ප්‍රජාවන් ආරක්ෂා කිරීම, ප්‍රතිරෝධශීලීභාවය ගොඩනැගීම සහ ඇතුළත්භාවයෙන් යුත් සංවර්ධන මාර්ග ඉදිරියට ගෙන යාම පිළිබඳ කාලෝචිත සංවාදයකට වේදිකාවක් විය.

 “CEPA at a Glance” ඉදිරිපත් කිරීම, CEPA සභාපතිනි නෙළුන් ගුණසේකර මහත්මියගේ පිළිගැනීමේ කථාව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා Shannon Cowlin මහත්මියගේ කථාව, CEPA ආරම්භක සාමාජිකයින් සහ දිගුකාලීන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම, CEPA විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාගේ කථාව, වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උප අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතාගේ ප්‍රධාන දේශනය ඇතුළත් විය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා, දරිද්‍රතාව සහ ඒ හා සම්බන්ධ සංවර්ධන අභියෝග පිළිබඳව කටයුතු කරන ස්වාධීන චින්තන මධ්‍යස්ථානයක් ලෙස CEPA පසුගිය වසර 25 තුළ ලබාදුන් දායකත්වය අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සහ මහජන සංවාදයට සාක්ෂි මත පදනම් වූ පර්යේෂණමය අදහස් ලබාදීමේදී CEPA වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

“දරිද්‍රතාව යනු මුදල් හිඟතාව පමණක් නොව, අවස්ථා හිඟතාව, බලගැන්වීමේ හිඟතාව සහ ගෞරවයේ හිඟතාවකි,” යනුවෙන් මහාචාර්ය අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව අවම කිරීමේ ගමන බරපතළ අභියෝගයකට ලක්ව ඇති බව පෙන්වා දුන් ඔහු, ඉදිරි කාලයේදී දරිද්‍රතාව අඩු කිරීම පමණක් නොව එය තිරසාරව සිදුකිරීම, ප්‍රතිරෝධශීලීභාවය ගොඩනැගීම, සමානාත්මතාවය සහ ඇතුළත්භාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

ප්‍රධාන දේශනය සිදුකළ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා, අර්බුද අවස්ථාවලදී දුප්පත් සහ දුර්වල ජනතාව ආරක්ෂා කිරීම සඳහා මැක්‍රෝ ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් ආයතනික විශ්වාසය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. 2022 ආර්ථික අර්බුදයෙන් ලබාගත හැකි පාඩම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අර්බුද බොහෝවිට එක්ම හේතුවකින් නොව, දුර්වලතා කිහිපයක් එකවර එකතු වූ විට පැනනගින බවයි.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවකාශය අර්බුදයක් ඇති වූ පසු නොව, අර්බුදයට පෙරම ගොඩනැගිය යුතු බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම, දරිද්‍රතාව පිළිබඳ කාලෝචිත, නිවැරදි සහ උසස් මට්ටමේ දත්ත අවශ්‍යතාවයත්, පර්යේෂණ ප්‍රතිඵල ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති අදහස් බවට පරිවර්තනය කිරීමේදී CEPA වැනි ආයතනවල කාර්යභාරයත් ඔහු පෙන්වා දුන්නේය.

සමුළුවේ පළමු දිනයේ ප්‍රධාන අවධානයක් යොමු වූයේ අවිනිෂ්චිත ගෝලීය යුගයක සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනය සඳහා වෙළඳ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අභියෝග” යන තේමාව යටතේ පැවැති ඉහළ මට්ටමේ ප්‍රධාන විද්වත් සැසිය වෙතය. ODI Global සහ CEPA විසින් සකස් කරන ලද මෙම සැසිය ODI Global හි International Economic Development Groupහි අධ්‍යක්ෂ සහ Principal Research Fellowමහාචාර්ය Dirk Willem te Veldeමහතාගේ මධ්‍යස්ථභාවයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා, වෙළඳ ප්‍රතිසංස්කරණ, මූල්‍ය අංශය, කලාපීය ඒකාබද්ධතාවය සහ ගෝලීය අස්ථාවරත්වය මධ්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල අභියෝග පිළිබඳ පුළුල් සංවාදයක් එහිදී සිදුවිය.

මෙම සැසියේ විශේෂ අදහස් දැක්වූ ODI Globalහි ගෞරවනීය සාමාජිකයකුවන Sir Vince Cableමහතා, ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ පුළුල් කලාපය සමඟ වෙළඳ සබඳතා ගැඹුරු කිරීමේ විශාල හැකියාවක් පවතින බව සඳහන් කළේය. දකුණු ආසියාව ලෝකයේ අඩුම කලාපීය ඒකාබද්ධතාවයක් ඇති කලාපයකි යන්න අවධාරණය කළ ඔහු, කලාපීය වෙළඳාම ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බව පෙන්වා දුන්නේය. ඉන්දියා–ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සහ වෙනත් ප්‍රධාන වෙළඳපොළ සමඟ ගැඹුරු ආර්ථික සබඳතා වර්ධනය කිරීමද අවශ්‍ය බව ඔහු පැවසීය.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා, ශ්‍රී ලංකාව බාහිර ආතතීන්, මුදල් හා ණය පීඩන, විදේශ විනිමය සීමා, ණය තිරසාරභාවය, පාලන දුර්වලතා සහ වේගයෙන් වර්ධනය වන තාක්ෂණික පරතරය ඇතුළු එකිනෙකට සම්බන්ධ දුර්වලතා රැසකට මුහුණ දෙමින් සිටින බව සඳහන් කළේය. බාහිර පරිසරය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, ස්ථාවර කළ හැක්කේ පරිසරය නොව, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය හැකි බුද්ධිමත් සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම විද්වත් සැසියේදී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා, ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සංවර්ධන අභියෝගය වන්නේ වර්ධනය තිරසාරව පවත්වාගෙන යාමත්, බාහිර ආර්ථික සමතුලිතතාවය ආරක්ෂා කරගැනීමත් බව සඳහන් කළේය. ඒ සඳහා කර්මාන්ත පරිවර්තනය අත්‍යවශ්‍ය බවත්, එමඟින් දුර්වල නොවන, තිරසාර සහ නිෂ්පාදනශීලී අවස්ථා නිර්මාණය කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. සමාජ ආරක්ෂණය වැදගත් වුවද, දරිද්‍රතාවට දීර්ඝකාලීන විසඳුම් ලබාදිය හැක්කේ ජනතාවට ආර්ථිකයට නිෂ්පාදනශීලීව දායක වීමට සහ ගෞරවනීය ආදායමක් උපයා ගැනීමට හැකි අවස්ථා නිර්මාණය කිරීමෙන් බව ඔහු අවධාරණය කළේය.

CEPA මණ්ඩල සාමාජික සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති Yvette Fernando මහත්මිය, වර්ධනයට මූල්‍ය අංශය සපයන දායකත්වය පිළිබඳ අවධානය යොමු කළාය. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දිගුකාලීන, ඉවසිය හැකි මූල්‍ය ප්‍රාග්ධනය අවශ්‍ය වුවද, බොහෝ මූල්‍ය ආයතන කෙටිකාලීන මූල්‍යකරණයට ව්‍යුහගත වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහය දක්වන ආයතනික පද්ධතිය විවිධාංගීකරණය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, අගය එකතු කළ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ මුදල්, රාජ්‍ය මූල්‍ය සහ වෙළඳ ප්‍රතිපත්ති අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවද ඇය සඳහන් කළාය.

ODI Global හි ජ්‍යෙෂ්ඨ ආරාධිත සාමාජික සහ CEPA උපදේශක ආචාර්ය Ganeshan Wignaraja මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් භූදේශපාලනික ආතතීන් අභියෝගයක් මෙන්ම අවස්ථාවක් ලෙසද දැකිය හැකි බව පෙන්වා දුන්නේය. සමුද්‍රීය වෙළඳාම, ආසියානු මූල්‍ය කටයුතු, වෘත්තීය සේවා සහ ඩිජිටල් වෙළඳාම යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළේය. එම හැකියාව විවෘත කිරීම සඳහා වෙළඳ පහසුකම්, රේගු ක්‍රියාවලි, ඩිජිටල් ගෙවීම් සහ සයිබර් ආරක්ෂාව නවීකරණය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

නවදිල්ලි නුවර Research and Information System for Developing Countries ආයතනයේ මහාචාර්ය Prabir De මහතා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය සහයෝගිතාව ගැඹුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ගෝලීය අස්ථාවරත්වය හමුවේ එක්ම හවුල්කරුවෙකු මත අධික ලෙස රඳා පැවතීම ආර්ථික හා භූදේශපාලනික අවදානම් ඇති කරන බැවින්, කලාපීය පද්ධති, නැව්ගත කිරීමේ යටිතල පහසුකම්, ජනතාවගේ සංචරණය, වෙළඳාම, පාරිසරික තිරසාරභාවය සහ BIMSTEC වැනි රාමු හරහා සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

සැසිය සාරාංශගත කරමින් මහාචාර්ය Dirk Willem te Velde මහතා සඳහන් කළේ, වෙළඳාම අවස්ථා නිර්මාණය කිරීමේ බලවේගයක් ලෙස, මූල්‍ය අංශයේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කාර්යභාරය, කෘෂිකර්මාන්ත නවීකරණය, ශ්‍රී ලංකාවේ භූගෝලීය සහ කලාපීය හැකියාව, සාර්ව ආර්ථික අවදානම් සහ ඉන්දියාව සමඟ කලාපීය වෙළඳ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙම plenary discussion තුළින් ඉස්මතු වූ බවයි.

සමුළුවේ වැඩසටහන තුළ ආර්ථික පද්ධති සහ ප්‍රතිපත්ති, පද්ධතිමය ප්‍රතිරෝධශීලීභාවය, දරිද්‍රතාව සහ දේශපාලන ආර්ථිකය, මැක්‍රෝ පාලනය, සමාජ ආරක්ෂණය, දේශගුණික පද්ධති, දේශගුණික ජීවනෝපාය, ස්ත්‍රී පුරුෂභාවය සහ තරුණ ක්‍රියාකාරීත්වය, වෙළඳ ලිබරලීකරණය සහ දරිද්‍රතාව, අධ්‍යාපන අසමානතාවය, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් ඇතුළත්භාවය, නාගරික දරිද්‍රතාව, ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය, රැකියා සහ ජීවනෝපාය, පාලන හිඩැස්, සමාජ දුර්වලතා ප්‍රතිපත්ති, අනාගත කුසලතා සහ තරුණ පර්යේෂකයින්ගේ වේදිකාව ඇතුළු තේමාවන් 18ක් යටතේ විද්වත් සැසි පැවැත්වුණි.

සමුළුවේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ අසමානතාවය, ජාතික උපායමාර්ග සහ දරිද්‍රතාව අවම කිරීම සඳහා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.

සමස්තයක් ලෙස, CEPA 25 වන සංවත්සර ජාත්‍යන්තර සමුළුව පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංවර්ධන හවුල්කරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව අතර වඩා සමීප හා ප්‍රතිඵලදායක සංවාද අවශ්‍යතාවය නැවත අවධාරණය කළේය. ශ්‍රී ලංකාව අර්බුදයෙන් පසු ප්‍රතිසාධන ගමනක නිරත වන අවස්ථාවේදී, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික ප්‍රතිසංස්කරණ, ඇතුළත් සංවර්ධනය, වෙළඳාම මත පදනම් වූ අවස්ථා නිර්මාණය, කලාපීය සහයෝගිතාව සහ ශක්තිමත් සමාජ ආරක්ෂණය තුළින් කිසිදු දුර්වල ප්‍රජාවක් පසුපස නොතබන සංවර්ධන මාර්ගයක් ගොඩනැගීමේ වැදගත්කම මෙම සමුළුව මගින් ඉස්මතු විය.

Previous Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close