ශ්‍රී ලංකා ඉෂුවර්න්ස් ජෙනරල්, 2026 ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල රක්ෂණ සහකරු ලෙස එක්වෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත සුරක්ෂිත කරයි
ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉෂුවර්න්ස් කෝපරේෂන් (SLIC), ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙරට ප්‍රමුඛතම පාපැදි තරඟාවලිය වන ‘2026 ගුවන් හමුදා පාපැදි සවාරියෙ’ හි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය.
1999 වසරේ දී ආරම්භ කරන ලද මෙම පාපැදි තරඟය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟයක් බවට පත්ව ඇති අතර, එය 2026 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව පවත්වනු ලැබූ 27 වන පාපැදි සවාරිය වීමද විශේෂත්වයකි.
මෙවර දින තුනක් පුරා පැවැත්වුණු මෙම තරඟය සඳහා විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව 150කට අධික ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වූ අතර තරඟයේ ධාවන දුර ප්‍රමාණය කිලෝමීටර් 500කට වඩා වැඩි විය. මෙම තරඟාවලිය හරහා ක්‍රීඩකයින් අතර තරගකාරීත්වය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාව දක්වනු ලැබූ කැපවීම මනාව පෙන්නුම් කෙරිණි.
පාපැදි ධාවන තරගය පසුගිය පෙබරවාරි මස 27 වන දින මීගමුවෙන් ආරම්භ වූ අතර, එහි පළමු දිනය හලාවතින් අවසන් කෙරිණි. තරඟයේ දෙවන දිනය හලාවත සිට දඹුල්ල දක්වා පැවැත්වුණු අතර, අවසන් අදියර මාර්තු මස 1 වන දින දඹුල්ලෙන් ආරම්භ වී ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් නිමාවට පත් විය. තවද, ජාතික මට්ටමේ ක්‍රීඩාවන් සඳහා කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් ඔවුන්ව දිරිගැන්වීමේ පියවරක් ලෙස, මාර්තු 1 වන දින මීරිගම සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වා කාන්තා පාපැදි තරගයක් ද මීට සමගාමිව පවත්වන ලදී.
ජීවිතය යනු නිදහසේ විඳීමට ඇති දෙයක් බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLIC Genaral) හි විශ්වාසයයි. පුද්ගල දක්ෂතා ඔප්නැංවීමටත්, සමාජය එකමුතු කිරීමටත්, රටේ දියුණුවටත් ක්‍රීඩාව ඉතා වැදගත් වේ. අනපේක්ෂිත අනතුරක් සිදු වුවහොත් ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකය සමඟින්, ශ්‍රී ලාංකිකයන්ට තම සිතැගි සහ දක්ෂතා බියකින් සහ බාධාවකින් තොරව ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දීමට SLICGL කැපවී කටයුතු කරයි.
මෙම තරඟාවලියට සහභාගී වූ සියලුම දෙනාට SLICGL විසින් පුළුල් ආරක්ෂාවක් සලසා දුන් අතර, තරඟයේ ලියාපදිංචි ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙනුවෙන් පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් ද පිරිනමන ලදී. නරඹන්නන් සහ වෙනත් පාර්ශවයන් සඳහා පොදු වගකීම් රක්ෂණාවරණයක් ද, ආරක්ෂක හා මඟ පෙන්වීම් සහ මාර්ග පාලන කටයුතු සඳහා යොදවා ඇති පොලිස් රථ වාහන වෙනුවෙන් තාවකාලික මෝටර් රථ රක්ෂණාවරණයක් ද ලබා දීමට කටයුතු කරන ලදී. මෙම රක්ෂණාවරණය හේතුවෙන්, සහභාගීවන්නන්ට, නරඹන්නන්ට සහ අනෙකුත් සියලුම පාර්ශවයන්ට අනපේක්ෂිත අවදානමකදී තමන්ට ලැබෙන රැකවරණය පිළිබඳ විශ්වසනීයත්වයකින් යුතුව මෙම තරඟයට සම්බන්ධ වීමට අවස්ථාව හිමි විය.
එමෙන්ම, ක්‍රීඩාව සහ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීමේ පුළුල් උපායමාර්ගයක් ලෙස, පාපැදි තරඟ සඳහා දායකත්වය ලබා දීමට සහ තම ‘Mediplus’ සෞඛ්‍ය රක්ෂණ විසඳුම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ද SLICGL ක්‍රියාකාරීව සිය ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙමින්, සෞඛ්‍ය රක්ෂණය සහ ජීවන රටාව අතර ඇති සම්බන්ධය තහවුරු කිරීමටත්, ආරක්ෂාව සහ විශ්වාසය පිළිබඳ සහතිකයක් ලබා දීමටත් SLICGL කටයුතු කරයි. නිරෝගී ජීවන රටාවක් ගත කිරීම පිළිබඳව ප්‍රවර්ධනය කිරීමේ හවුල්කරුවෙකු වන SLICGL සමාගම, රක්ෂණ සහ සෞඛ්‍ය යන අංශ දෙකෙහිම විශ්වසනීයත්වයක් ගොඩනඟමින්, රාජ්‍ය අනුග්‍රහය සහිත ජාතික මට්ටමේ ක්‍රීඩා ව්‍යාපෘතීන් සමඟ ද එක්ව අඛන්ඩව කටයුතු කරනු ලබයි.

