March 30, 2026
Texo සහ Noyon පහසුකම් එක්කර ගනිමින් MAS, Plan for Change වැඩසටහන සාර්ථකව ඉදිරියට
පුවත්

Texo සහ Noyon පහසුකම් එක්කර ගනිමින් MAS, Plan for Change වැඩසටහන සාර්ථකව ඉදිරියට

Mar 30, 2026

ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා වන MAS Holdings සිය ‘Plan for Change’ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තම අනුබද්ධ ආයතන දෙකක් වන Texo (Pvt) Ltd (කපු රෙදි සැකසුම් කර්මාන්තශාලාව) සහ Noyon Lanka (ලේස් නිෂ්පාදන ආයතනය) නිල වශයෙන් bluesign® පද්ධති හවුල්කරුවන් බවට පත් වූ බව නිවේදනය කළේය. එය පරිසර හිතකාමී සහ වගකීම් සහගත නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් සමාගම දැක්වූ කැපවීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම ආයතනයන් bluesign® හවුල්කරුවන් බවට පත්වීමත් සමඟ MAS හි තෙතමනය සහිත රෙදි සැකසුම් කර්මාන්ශාලාවන්ගෙන් 75%ක් වගකීම් සහගත රසායනික කළමනාකරණය සඳහා වන ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වනු ඇත. එය MAS හි Plan for Change 2030 තිරසාර ඉලක්ක සපුරා ගැනීමට සුවිසල් ශක්තියක් ලබා දෙනු නිසැකය.

මෙම වැඩසටහනෙහි bluesign® පද්ධති හවුල්කරුවකු බවට පත්වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ආයතනික ක්‍රියාවලීන් සහ මෙහෙයුම් ප්‍රමිතීන් ලොව ඉහළ මට්ටමට ගෙන ඒමට විශාල කැපවීමක් සහ ආයෝජනයක් අවශ්‍ය වේ. මෙහිදී එම කර්මාන්තශාලාවන්හි ගෙතුම්, සායම් කිරීම, නිම කිරීමේ කටයුතු සහ ලැමිනේට් කිරීම වැනි සියලුම නිෂ්පාදන පියවරයන් දැඩි පාරිසරික, සෞඛ්‍යය සහ ආරක්ෂණ නීතිවලට අනුකූලව සිදු කරන බවට ස්වාධීන ආයතනයක් විසින් නිරීක්ෂණය කරනු ලබයි.

රෙදිපිළි නිෂ්පාදනයේදී හානිකර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම, සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙන්ම ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීමේ ලොව පිළිගත් ක්‍රමවේදයක් ලෙස bluesign® සඳහන් කළ හැකිය. මෙහි හවුල්කරුවන් බවට පත්වීම තුලින් ලෝක ව්‍යාප්ත නිෂ්පාදක ජාලයට එක්වීම Texo සහ Noyon කර්මාන්ත ආයතනටන්ට හැකි වී ඇති අතරම එය MAS හි දේශීය සැපයුම් දාමය තව දුරටත් ශක්තිමත් කිරීමටද හේතු වනු ඇත.

මෙම සුවිශේෂී සංධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings හි පාරිසරික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී ධනුජි ජයපාල මහතා සඳහන් කර සිටියේ “දත්ත මත පදනම් වූ හා තහවුරු කරන ලද තිරසාර ක්‍රියාවලීන් අපගේ මෙහෙයුම් සඳහා ඇතුළත් කිරීමට MAS තුල ඇති කැපවීම මෙම ජයග්‍රහණය තුලින් මනාව ප්‍රදර්ශනය වනවා. විනිවදභාවය, අඛණ්ඩ දියුණුව සහ අපගේ සන්නාම හවුල්කරුවන්ට මෙන්ම සමස්ත කර්මාන්තයට වගකීමෙන් බැඳී සිටින බව සහතික කරන අවස්ථාවක් ලෙස bluesign® හඳුන්වා දිය හැකියි.” යනුවෙනි.

තවද මෙම හවුල්කාරීත්වය හේතුවෙන් Texo සහ Noyon, bluesign® හි රසායනික කළමනාකරණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක වනු ඇති අතර ඒ තුලින් නිෂ්පාදන කටයුතු සඳහා bluesign® හි අනුමත ආරක්ෂිත රසායනික ද්‍රව්‍ය පමණක් භාවිතයට ගන්නා බවද සහතික කරනු ලබයි. එසේම රසායනික ද්‍රව්‍යයන්හි ස්වභාවය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව මැන බැලීමට CUBE, FINDER සහ GUIDE වැනි bluesign® සතු නවීන ඩිජිටල් මෙවලම් භාවිත කිරීමටද මෙම ආයතනවලට අවස්ථාව උදා වේ.

මෙහිදී අදහස් දැක්වූ bluesign® හි ප්‍රධාන වාණිජ කළමනාකාර බාබරා ඔස්වල්ඩ් මහත්මිය “MAS හි තවත් ආයතන දෙකක් bluesign® පද්ධති හවුල්කරුවන් වීම පිළිබඳව අප ඉතා සතුටට පත් වෙනවා. Texo සහ Noyon, bluesign® පවුල වෙත ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට මෙය අවස්ථාවක් කොට ගන්නවා.” යනුවෙන් පැවසීය.

2023 වසරේදී ප්‍රථම වරට bluesign® පද්ධතිය සමඟ MAS එක් වූයේ එහි MAS Fabrics – Intimo එම සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම මැහුම් රහිත ඇඟලුම් කර්මාන්ත ආයතනය බවට පත් වෙමිනි. MAS සමාගමේ ගෝලීය නිෂ්පාදන ජාලය පුරා ආරක්ෂිත රසායනික භාවිතය ඉහළ නැංවීමේ පැහැදිලි වර්ධනයක් මෙම නවතම පියවර තුලින් ප්‍රදර්ශනය කරනු ලබයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close