March 23, 2026
ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල  සංගමය උපරිම සිල්ලර මිළ (MRP) සහිත ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි
පුවත්

ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල  සංගමය උපරිම සිල්ලර මිළ (MRP) සහිත ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

Mar 23, 2026

ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය (SLBWA) බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල (MRP) නියම කර ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවීම සිදු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කර්මාන්තය මුහුණ දෙමින් ඇති වියදම් සැළැකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා, කර්මාන්ත අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) වෙත යොමු කළ ලිපියකින් සංගමය ප්‍රකාශ කරන්නේ වර්තමාන මිල ව්‍යුහය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් බොහෝ දෙනෙකුට ව්‍යාපාර පවත්වා ගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බවයි. මෙම තත්ත්වය දිගටම පැවතුණොත් ආරක්ෂිත පානීය ජල බෝතල් සැපැයුමට බලපෑම් ඇති විය හැකි බව ලිපියෙන් අවධාරණය කර ඇත.

2025 අප්‍රේල් 01  පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් අංක 2430/15 යටතේ බෝතල් කළ පානීය ජලය සඳහා මිලිලීටර් 500 සිට 999 දක්වා රු. 70ක, ලීටර් 1 සිට 1.499 දක්වා රු. 100ක, ලීටර් 1.5 සිට 1.999 දක්වා රු. 130ක, ලීටර් 2 සිට 2.499 දක්වා රු. 160ක සහ ලීටර් 5 සිට 6.999 දක්වා රු. 350ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අවස්ථාවේදී නිෂ්පාදන හා මෙහෙයුම් වියදම් සමාන්‍ය තත්ත්වයක පැවැති නමුත් වර්තමානයේදී එම තත්ත්වය විශාල ලෙස වෙනස් වී ඇති බව සංගමය පෙන්වා දෙයි. එය නිෂ්පාදකයන්ට නියමිත මිල සීමා තුළ ක්‍රියාත්මක වීම ඉතා අපහසු කර ඇත. සංගමය ඉදිරිපත් කළ ප්‍රධාන අභියෝග අතරට ඉහළ ගිය ඉන්ධන වියදම් හේතුවෙන් නිෂ්පාදන හා ප්‍රවාහන වියදම් වැඩි වීම, PET ප්ලාස්ටික් වැනි ඉන්දන පදනම් වූ අමුද්‍රව්‍යවල මිළ ඉහළ යාම, මැද පෙරදිග රටවල සැපැයුම් බාධා හේතුවෙන් අමුද්‍රව්‍ය ආනයනයට ඇති වූ ගැටළු, ජාත්‍යන්තර නාවික හා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩි වීම, විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් ජල පිරිපහදු සහ බෝතල් කිරීමේ ක්‍රියාවලියේ වියදම් ඉහළ යාම, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ දුෂ්කරතා, විදෙස් සැපැයුම්කරුවන්ගෙන් කලින් ඇණැවුම් කළ අමුද්‍රව්‍යවල මිළ වර්තමාන මිළ දක්වා වැඩි කිරීමට බොහෝ සැපැයුම්කරුවන් ක්‍රියා කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ යාම ඇතුළත් වේ. මෙම තත්ත්වය සැළැකිල්ලට ගනිමින් වර්තමාන මිල නියම කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර කර්මාන්තයට සහන දීම අත්‍යවශ්‍ය බව සංගමය පෙන්වා දෙයි. එමඟින් බෝතල් කළ පානීය ජල කර්මාන්තයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ රට පුරා ආරක්ෂිත පානීය ජල බෝතල් සැපැයුම තහවුරු කළ හැකි බව සංගමය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close