March 22, 2026
මිනැස්රෝ කොලේජ් මතුගම නව ශාඛාව උත්කර්ෂවත් ලෙස විවෘත වේ
පුවත්

මිනැස්රෝ කොලේජ් මතුගම නව ශාඛාව උත්කර්ෂවත් ලෙස විවෘත වේ

Mar 22, 2026

මිනැස්රෝ කොලේජ් සිය අධ්‍යාපන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එහි නවතම ශාඛාව මාර්තු 12 මතුගම නගරයේදී විවෘත කළේය. මෙම නව ශාඛාව ස්ථාපනය කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට සහ ප්‍රදේශයේ දෙමාපියන්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට ආයතනය දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වේ. ​මිනැස්රෝ පැලවත්ත ශාඛාවේ පවත්වා ගෙන යන උසස් අධ්‍යාපන ප්‍රමිති සහ එහි සාර්ථකත්වය පිළිබඳව නිරීක්ෂණය කළ මතුගම ප්‍රදේශයේ දෙමාපියන් සහ හිතවතුන් අඛණ්ඩව කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම නව ශාඛාව අරඹන ලදී. අලුතෙන් විවෘත කළ ශාඛාව පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා අධ්‍යයන කටයුතු සිදු කරයි. එහිදී ජාතික විෂය මාලාව සමඟ ජාත්‍යන්තරව පිළිගත් කේම්බ්‍රිජ් ඉංග්‍රීසි (Cambridge English) සුදුසුකම ඒකාබද්ධ කරමින් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාව වර්ධනය කිරීමට කටයුතු යොදා ඇත. මෙම අධ්‍යාපනික ප්‍රවේශය සැළැසුම් කර ඇත්තේ සිසුන් ජාතික විභාග සඳහා පමණක් නොව උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය තුළ උදා වන ගෝලීය අවස්ථා සඳහාද සූදානම් කිරීමටයි.

විවෘත කිරීමේ උත්සවයට ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම ප්‍රධාන අමුත්තන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන, මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ සහභාගී වූහ. මිනැස්රෝ විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මේජර් අනුර කන්නන්ගර, මිනැස්රෝ විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි, මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න විතාන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති සමරනායක, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශ්‍යාමා තිලකරත්න, ​ජාතික පෙර පාසල් සංවර්ධන විධායක අධ්‍යක්ෂ ආචාර්ය කේ. එල්. ගුණරත්න, AMRAK_EBEK ආයතනයේ අධ්‍යයන ප්‍රධානී ලීසා ඈන් සිල්වා, ජගත් විතාන ඉන්වෙස්මන්ති අධ්‍යක්ෂ රසික විතාන, ව්‍යාපාරික ප්‍රජාව, ගුරුවරු, සිසුහු සහ දෙමාපියෝද මේ සඳහා සහභාගී වූහ. මිනැස්රෝ විද්‍යාලය පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනයක් සකසා ඇත්තේ විෂය කරුණු ඉගැන්වීමට පමණක් නොව සිසුන් තුළ විනය, සාරධර්ම, නායකත්වය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමටය. බුද්ධිය හා පෞරුෂය යන දෙඅංශයම පෝෂණය කරන පරිපූර්ණ අධ්‍යාපනයක් සපැයීම විද්‍යාලයේ අරමුණ වේ. ​නවීන පන්ති කාමර සහ නවෝත්පාදනයට හා විචාරාත්මක චින්තනයට හිතකර ඉගැනුම් පරිසරයකින් නව ශාඛාව සමන්විත වේ. උත්සවයට පැමිණි අමුත්තන්ට පාසල් පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමි විය. ​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close