February 10, 2026
Visa සහ NDB බැංකුව එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට ‘Card Present Connect’ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
පුවත්

Visa සහ NDB බැංකුව එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට ‘Card Present Connect’ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Feb 10, 2026

ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, NDB බැංකුව හා එක්ව අන්තර්ජාලය හරහා සහ පරිබාහිරව සිදු කරන ගනුදෙනු ද්විත්වයටම සහාය දක්වන, ඩිජිටල් ගෙවීම් භාරගැනීම සඳහා වන ‘Card Present Connect’ සේවාව දියත් කරන ලදී. මෙය Visa හි විවෘත ගෙවීම් වේදිකාව වන අතර Cybersource මගින් බලගන්වන්නකි.  Visa Acceptance Solutions යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ගෝලීය ගෙවීම් දොරටුවක් ලෙස සැලකෙන Cybersource, ජාත්‍යන්තර කාඩ්පත් පද්ධති ආවරණය කරමින් ඉතා ආරක්ෂිත ගෙවීම් ක්‍රියාවලියක් සඳහා පහසුකම් සපයයි. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වඩාත් කාර්යක්ෂම සහ සුරක්ෂිත ලෙස කාඩ්පත් මඟින් ගෙවීම් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මෙම හඳුන්වාදීම, දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ මෙවැනි විසඳුමක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ. මෙම නවතම විසඳුම මගින් ව්‍යාපාරවලට Android SmartPOS උපාංග භාවිතයෙන් EMV චිප්, Contactless සහ Mobile wallet ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලැබේ. ව්‍යාපාරිකයන් සඳහා මෙය පිරිවැය අවම කිරීමක් සහ ඉහළ ආරක්ෂාවක් ලබා දෙන අතර, දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත ප්‍රවේශ වීමට ද ඉඩ සලසයි. මුදල් භාවිතයෙන් තොර ආර්ථිකයන් තුළ ගෝලීය වශයෙන් තරඟ කිරීමට සහ සිය ව්‍යාපාර පුළුල් කිරීමට මෙය සුවිශේෂී දායකත්වයක් සපයයි.

ගනුදෙනු භාරගන්නා බැංකු සඳහා මෙම පියවර මගින් පිරිවැය කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළට පිවිසීමේ වේගය වැඩි කරන අතර, Visa හි පූර්ව ඒකාබද්ධ හවුල්කාර පරිසර පද්ධතිය හරහා සරලව සේවාව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දෙයි. මෙම විසඳුම මගින් බැංකුවලට සංකීර්ණ අභ්‍යන්තර ගෙවීම් යටිතල පහසුකම් ගොඩනැගීමේ සහ නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරන අතරම, පූර්ණ අනුකූලතාව සහ විශ්වසනීයත්වය සහතික කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය මෙසේ පැවසුවාය.ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවේ වර්ධනය වේගවත් කිරීම සඳහා NDB බැංකුව සමඟ එක්ව මෙම නවතම විසඳුම හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සාම්ප්‍රදායික POS යන්ත්‍ර මිල අධික විය හැකි නමුත්, මෙම නව ක්‍රමය මඟින් එම බාධක ඉවත් කරමින් ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට ඩිජිටල් ගෙවීම් ලෝකයට පිවිසීමට අවශ්‍ය තාක්ෂණය සහ විශ්වාසය අප ලබා දෙනවා.”

NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සඳහන් කළේ, “සෘජු ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයට අප පිවිසීම මෙරට ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ තීරණාත්මක පියවරක්. වීසා සමාගමේ ගෝලීය තාක්ෂණය සහ NDB බැංකුවේ ශක්තිමත් දේශීය සබඳතා එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් නවීන, සුරක්ෂිත සහ තිරසාර ගෙවීම් අත්දැකීමක් ලබාදීමට අප කැපවී සිටිනවා,” යනුවෙනි.

Visa සහ NDB බැංකුව එක්ව, කාඩ්පත් භාරගැනීමේ හැකියාව ප්‍රචලිත කරමින්, ව්‍යාපාරිකයන්ගේ කාර්‍යක්ෂමතාව වැඩි දියුණු කරමින් සහ රට පුරා ඩිජිටල් ගෙවීම් සඳහා වේගවත් හා පුළුල් ප්‍රවේශයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ගෙවීම් අත්පත් කර ගැනීමේ ක්ෂේත්‍රය නව අර්ථකථනයකට ලක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close