November 28, 2025
ශක්තිමත් වර්ධනයක් සහ උපායමාර්ගික ජයග්‍රහණ සමගින් DFCC බැංකුව තෙවන කාර්තුවේදී (Q3) සියවිශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි
පුවත්

ශක්තිමත් වර්ධනයක් සහ උපායමාර්ගික ජයග්‍රහණ සමගින් DFCC බැංකුව තෙවන කාර්තුවේදී (Q3) සියවිශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි

Nov 25, 2025

DFCC බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත.

සමූහය, රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාභයක් වාර්තා කළ අතර, සමූහයේ වත්කම් 20% කින් වර්ධනය වී රුපියල් බිලියන 853 ක් ලෙස සටහන් විය. බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය මැනවින් පිළිබිඹු කරමින්, මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 14.28% ක් ලෙස වාර්තා විය.

බැංකු මට්ටමින්, DFCC බැංකුව රුපියල් බිලියන 13.3 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, Acuity Partners (Pvt) Ltd හි සිය 50% ක හිමිකාරිත්වය උපායමාර්ගිකව අලෙවි කර දැමීමෙන් ලැබූ එක් වරක් සඳහා වූ ලාභයක් ද ඊට ඇතුළත් විය. මෙම ලාභදායීතාව, ණය සම්භාරයේ 26% ක වර්ධනයක් සහ තැන්පතු වල 22% ක වර්ධනයක් මගින් තවදුරටත් ශක්තිමත් විය. විනයානුකූල ණය ව්‍යාප්තිය සහ අරමුදල් ප්‍රශස්තකරණය මගින් මූලික ලාභදායීතාව ද ඉහළ මට්ටමක පැවතිණි. විනයානුකූල ණය දීම් සහ ශක්තිමත් වූ CASA (ඉතුරුම් සහ ජංගම ගිණුම්) පදනම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 11% කින් ඉහළ ගිය අතර, එය බැංකුවේ මූලික මෙහෙයුම් වල අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි.

තෙවන කාර්තුවේ දී තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘නීල බැඳුම්කරය’ (Blue Bond) නිකුත් කිරීම ද සිදු විය. මෙය සාගර පරිසරයට හිතකාමී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමේ ප්‍රයත්නයන් සඳහා සහාය වන රුපියල් බිලියන 3 ක මූලාරම්භයකි. මෙමගින් තිරසාර මූල්‍යකරණය තුළ DFCC බැංකුවේ නායකත්වය තවදුරටත් තහවුරු විය. මීට අමතරව, බැංකුව සිය 70 වන සංවත්සරය සමරමින් මෙම කාර්තුව තුළ විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම ද හඳුන්වා දෙන ලදී.

මෙම කාල සීමාව තුළ DFCC බැංකුව ලැබූ ජයග්‍රහණ, සම්මාන රැසකින් තවදුරටත් ඔප් නැංවිණි. ‘Great Place to Work’ (සේවය කිරීමට වඩාත් සුදුසුම ස්ථානයක්) ලෙස සහතික කිරීම, AICPA සහ CIMA ‘Top 20 Employers’ (ප්‍රමුඛතම සේවා යෝජකයින් 20) ශ්‍රේණිගත කිරීමේ 4 වන ස්ථානයට පත්වීම, ICC ‘Emerging Asia Banking Awards’ හිදී ‘MSME වර්ධනය සඳහා වන හොඳම බැංකුව’ (Best Bank in MSME Acceleration) සම්මානය දිනා ගැනීම, සහ ‘Brand Finance’ මගින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 30 අතරට එක්වීම ඒ අතරට ඇතුළත් වේ.

තෙවන කාර්තුව තුළ අත්කරගත් මෙම සුවිශේෂී වර්ධනය සම්බන්ධයෙන් DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් පළ කළේය: ” අපගේ තුන්වන කාර්තුවේ ප්‍රතිඵල බැංකුවේ ප්‍රධාන ලාභදායීතාවේ ශක්තිය සහ අපේ සැලසුම් විධිමත්ව ක්‍රියාවට නංවන ආකාරය හොඳින් පෙන්වා දෙනවා. ශක්තිමත් ණය සහ තැන්පතු වර්ධනයෙන් ලැබුණු ශක්තිමත්භාවයත් සමඟ, ආයෝජන විකිණීමෙන් ලැබුණු ලාභයත් එකතුව, බැංකු මට්ටමින් රුපියල් බිලියන 13.3 ක ලාභයක් වාර්තා කිරීමට හැකිවිය. මේ හරහා වගකීම් සහගත ව්‍යාප්තිය සහ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ ඇති කැපවීම පිළිබිඹු කරනවා. ව්‍යාපාරික පරිසරය ස්ථාවරව පවතින මේ කාලවකවානුව තුළ, අපගේ මූලික ව්‍යාපාර පදනම තවත් ශක්තිමත් කිරීමට, ශේෂ පත්‍රය ශක්තිමත් කිරීමට සහ සියලු පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන වර්ධනයක් ගෙන දෙන්න අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close