සිය පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් නිට්ටඹුවේ නව ශාඛාවක් විවෘත කරයි
නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි.
නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් දක්වන කැපවීමේ තවත් පියවරක් ඉදිරියට තබා ඇති අතර එය සමාගමේ දීපව්‍යාප්ත ජාලයේ සමාගමටම අයත් 34 වන ශාඛා ගොඩනැගිල්ල වේ.
251/B/4, කොළඹ පාර, හොරගොල්ල වත්ත, නිට්ටඹුව යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා විසින් අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඉදිරියේ විවෘත කරන ලදී.
වර්ග අඩි 5,750 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් නිර්මාණය කර වැඩි දියුණු කරන ලද අඩු වියදම් ‘ප්‍රීකාස්ට්’ කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතයෙනි. සමාගමේ අඛණ්ඩ වූ හරිත මුලපිරීමට අනුකූල වන ලෙස මෙම නිට්ටඹුව ශාඛාව බලශක්ති කාර්යක්ෂමතාවය සහ පරිසර හිතකාමී බව ආරක්ෂා වන ආකාරයේ අංග රාශියකින් සමන්විත වේ. වැසි ජලය රැස් කිරීමේ පහසුකම්, වැසිකිළි සේදීම හා ගෙවතු වගාව සඳහා පිරිපහදු කළ ජලය නිපදවන මල අපවහන පිරිපහදු යන්ත්‍රයක් සහ බලශක්ති කාර්යක්‍ෂම ආලෝකකරණ හා වායු සමීකරණ පද්ධති ඒ අතර වේ.
සමාගමේ ශාඛා ජාලය සඳහා පළමු වරට හඳුන්වා දෙන 100% ක් ම සූර්ය බලශක්තියෙන් බලගැන්වෙන විදුලිබල පද්ධතියක් සහිත නිට්ටඹුව ගොඩනැගිල්ල විදුලි බලය සඳහා ජාතික පද්ධතිය මත යැපීම සහමුලින් ම ඉවත් කරයි. මෙම ගොඩනැගිල්ල සැලසුම් සකස් කර ඇත්තේ ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිම වන අයුරිනි. හරිත බව වැඩි කිරීම සඳහා භූමියට තණකොළ සහිත කොන්ක්‍රීට් ගල් භාවිතා කර ඇත. එහි ඉදිකරීම් අතරතුර කිසිඳු ගසක් කපා නොමැති බවට සහතික කරමින් පැවති ගස් සියල්ල ගොඩනැගිල්ලේ සැලස්මට ම ඒකාබද්ධ කර ඇති බව සමාගම පවසයි.
මෙම පරිශ්‍රය තුළ වාහන දහයකට වැඩි ගණනකට නවත්වා තැබිය හැකි ලෙස ප්‍රමාණවත් ඉඩ පහසුකම්, භූමි අලංකරණය කළ උද්‍යානයක් සහ අනාගත ව්‍යාප්තිය සඳහා ඉඩකඩ ද වෙන් කර ඇත. එය මූල්‍ය සේවා අංශයේ නවීන, තිරසාර ඉදිකිරීම් සඳහා අගනා ආදර්ශයක් ලබා දෙයි.
නව ශාඛාව පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා මෙසේ පැවසීය: “ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම ශ්‍රී ලංකාවේ වඩාත් ම ගෞරවනීය ව්‍යාපාරික ආයතනයක් ලෙස පාරිසරික වශයෙන් ඇති වගකීම් පිළිගනිමින් විශිෂ්ට පාරිභෝගික සේවයක් සැපයීම වෙනුවෙන් අපි කැපවී සිටිමු. අරමුණු කේන්ද්‍රීය හා සමගමට පූර්ණ අයිතිය හිමි ගොඩනැගිලි සහිත ශාඛා වෙත අප සිදු කරන ආයෝජනය මගින් පෙන්නුම් කරන්නේ ගනුදෙනුකරුවන්ට මෙන් ම ලෝකයට ද දිගුකාලීන වටිනාකම් නිර්මාණය කළ යුතු බවට වූ අපගේ විශ්වාසය යි.”
ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා බවට පත්ව සිටියි. මෙම වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් එමගින් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස තම ස්ථානය නැවතත් තහවුරු කලේය.
2022 සහ 2023 වසරවලදී ද ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස සෙලින්කෝ ලයිෆ් තේරී පත් වූ අතර 2023 වසරේ දී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කරන ලදී.

