November 19, 2025
ශක්තිමත් ණය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව මූල්‍ය වසරේ පළමු මාස 9 සඳහා ඵලදායී ප්‍රතිඵල වාර්තා කරයි
පුවත්

ශක්තිමත් ණය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව මූල්‍ය වසරේ පළමු මාස 9 සඳහා ඵලදායී ප්‍රතිඵල වාර්තා කරයි

Nov 18, 2025

2025 තුන්වන කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 268.49 ක දළ ආදායමක් සහ රුපියල් බිලියන 103.48 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කර ඇති අතර ණය පොතේ 34.60% ක ශක්තිමත් වර්ධනය සහ පොලී වියදම් සීමා කිරීම මෙම ප්‍රශංසනීය කාර්ය සාධනයට දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 සැප්තැම්බර් 30න් අවසන් මාස නවය සඳහා ශුද්ධ පොලි ආදායම 6.96% කින් වර්ධනය වී රුපියල් බිලියන 221.53 ක් වූ  අතර අරමුදල්වල පිරිවැය අඩු වීම සහ CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු වීම හේතුවෙන් එම කාලය සඳහා පොලී වියදම් රුපියල් බිලියන 188.05 ක් ලෙස නොවෙනස්ව පැවතී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, සලකා බලන මාස නවය සඳහා වූ රුපියල් බිලියන 103.48 ක පොලී ආදායම දළ ආදායමේ 11.08% ක වර්ධනයට සාපේක්ෂව 16.30% කින් ඉහළ ගොස් ඇත. තුන්වන කාර්තුවේ දළ ආදායම 16.37% කින් රුපියල් බිලියන 91.46 දක්වා වර්ධනය වූ අතර, මාස තුන සඳහා පොලී ආදායම රුපියල් බිලියන 74.88 ක් දක්වා 10.35% කින් වර්ධනය විය. මෙම කාලය තුළ ණය පොත රුපියල් බිලියන 58.51 ක මාසික සාමාන්‍යයකින් වර්ධනය විය.

“විචක්ෂණශීලි ලෙස ණය ලබාදෙමින් රටේ ආර්ථික වර්ධන ඉලක්ක සඳහා අපි උපරිම සහය ලබා දිය යුතු යැයි අප විශ්වාස කරනවා,” යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා පැවසීය. “අප සමූහයේ කාර්ය සාධනය මෙම ප්‍රවේශය පිළිබිඹු කරන අතර, ජාතික ආර්ථිකයේ සහ ව්‍යාපාරික අංශයේ වර්ධනය මත, වසරේ අවසන් කාර්තුවේද ශක්තිමත් කාර්ය සාධනයක් අප අපේක්ෂා කරනවා.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, ඵලදායිතාව කළමනාකරණය සහ පිරිවැය ප්‍රශස්තිකරණය කෙරෙහි අවධානය යොමු කිරීම සමඟ ණය පොතේ වර්ධනය පවත්වා ගැනීමට බැංකුව සතු හැකියාව, මාස නවය සඳහා මෙම ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට බොහෝ සෙයින් උපකාරී වූ බවයි. 2025 සැප්තැම්බර් 30 දින වන විට 39.92% ක් වූ CASA අනුපාතය කෙරෙහි බැංකුව දැඩි අවධානයක් යොමු කළ බවත්, එය 2024 වසරේ දෙසැම්බර් මස අවසානයේ 38.07% ක් සහ වසරකට පෙර 39.60% ක් ද වූ බවත්, එමඟින් අරමුදල් වල පිරිවැය පාලනය කර ගැනීමට බැංකුවට හැකි වූ බවත් ඔහු පැවසීය.

සලකා බලන මාස නවය සඳහා සමස්ත මෙහෙයුම්  ආදායම රුපියල් බිලියන 140.49 ක් දක්වා 21.41% කින් වැඩි වූ අතර සමූහයේ හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා වෙන් කිරීම් 28.21% කින් අඩු වී රුපියල් බිලියන 14.37 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පෙර වසරේ එම අගයට ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB) සඳහා බැංකුව සතුව තිබූ අතිරේක ප්‍රතිපාදන ඇතුලත් කර තිබීම ය. 2025 තුන්වන කාර්තුව සඳහා සමූහය රුපියල් බිලියන 47.74 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කළ අතර එය 24.13% ක වර්ධනයකි.

මාස නවය සඳහා සමූහය රුපියල් බිලියන 126.13 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කළ අතර එය 31.79% ක ආකර්ෂණීය වර්ධනයක් පිළිබිඹු කලේය. මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 39.41 ක් ලෙස පවත්වා ගෙන ගිය අතර එය 8.00% ක වැඩි වීමක් පමණක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය සැලකිය යුතු ලෙස 46.46% කින් වර්ධනය වී රුපියල් බිලියන 86.71 ක් විය.

මූල්‍ය සේවා සඳහා බදු රුපියල් බිලියන 13.36 දක්වා 50.72% කින් ඉහළ ගොස් ඇති අතර එමඟින් මාස නවය සඳහා සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 73.35 ක් වූ අතර එය 45.71% ක වර්ධනයක් විය. ආදායම් බදු රුපියල් බිලියන 25.33 ක් දක්වා 34.71% කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචනය කරන ලද මාස නවය තුළ සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 48.02 ක් විය. එය 52.27% ක ආකර්ෂණීය වර්ධනයකි. වසරේ තුන්වන කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 16.86 ක් වන අතර එය 33.38% ක වර්ධනයකි.

2025 සැප්තැම්බර් 30 දා අවසන් වූ මාස නවය තුළ සමූහයේ මුළු වත්කම් රුපියල් බිලියන 357 කින් එනම් 12.40% කින් වැඩි වී රුපියල් ට්‍රිලියන 3.233 ක් විය. පෙර මාස 12 තුළ වත්කම් වර්ධනය රුපියල් බිලියන 469 ක් නොහොත් 16.99% විය.

සමූහයේ ණය දීමේ අඛණ්ඩ වේගය හේතුවෙන් මාස නවය තුළ දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 381 කින් නැතහොත් 25.01% කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 1.907 ක් වූ අතර එහි මාසික සාමාන්‍යය අගය රුපියල් බිලියන 42.39 කි. පසුගිය මාස 12 තුළ ණය පොතේ වර්ධනය රුපියල් බිලියන 490 ක් හෙවත් 34.60% ක් වූ අතර එහි මාසික සාමාන්‍යය අගය රුපියල් බිලියන 40.85 කි.

තැන්පතු රුපියල් බිලියන 283 ක වැඩි වීමක් වාර්තා කරමින් මාස නවය අවසානයේදී රුපියල් ට්‍රිලියන 2.589 ක් දක්වා 12.26% කින් වර්ධනය වී ඇත්තේ රුපියල් බිලියන 31.40 ක මාසික සාමාන්‍ය වර්ධන අගයකිනි. පෙර මාස 12 තුළ රුපියල් බිලියන 30.18 ක මාසික සාමාන්‍ය වර්ධනයක් සමඟ තැන්පතු 16.27% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කලේය.

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close