November 19, 2025
ජාතික එකමුතුව සහ ව්‍යවසායකත්වය පෙරටු කරගනිමින් ශ්‍රී ලංකාව GEW 2025 දියත් කරයි
පුවත්

ජාතික එකමුතුව සහ ව්‍යවසායකත්වය පෙරටු කරගනිමින් ශ්‍රී ලංකාව GEW 2025 දියත් කරයි

Nov 18, 2025

නවෝත්පාදනය, පරිපූර්ණත්වය සහ ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරමින් ‘එක්ව ගොඩනඟමු’ (Together We Build) තේමාව යටතේ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) පසුගිය දා ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් දියත් කෙරිණ.

ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) යනු නිර්මාණශීලිත්වය, සහයෝගීතාවය සහ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් එක්ව සමරනු ලබන ජාත්‍යන්තර වාර්ෂික සැමරුමකි. මෙම වසරේදී ද, ශ්‍රී ලංකාව ගෝලීය ජාලයේ කොටසක් ලෙස ඒ සඳහා අඛණ්ඩව සහභාගීත්වය ලබා දී ඇත. වැඩසටහනේ ජාතික සත්කාරක සංවිධානය ලෙස මෙවරත් කටයුතු කරනු ලබන්නේ ICTA ආයතනයයි.

‘Together We Build’ වැඩසටහන ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ක්ෂේත්‍රය එක්සත් කිරීම, ප්‍රජාවන් බලගැන්වීම සහ නවෝත්පාදනය තුළින් තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා වන මුලපිරීම් සඳහා ප්‍රමුඛත්වය දෙයි. GEW 2025 දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර, ශ්‍රී ලාංකිකයන් සතු නිර්මාණශීලිත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ සහයෝගීතාවය පෙන්නුම් කරමින් ජාත්‍යන්තර වේදිකාවන් තුළ ලාංකික හඬ මතු කරන්නටත් මේ තුළින් උත්සාහ දරනු ඇත.

මෙම දියත් කිරීම 2025 නොවැම්බර් 14වන දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සම්භාවනීය ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවය, ජාතික සංවර්ධනයට උර දෙන මෙහෙවරක් මෙන්ම ව්‍යවසායකත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීමට නව ප්‍රවේශයක් සපයන වැඩපිළිවෙළක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

රට පුරා ව්‍යවසායකයන්ගේ දිරියට ශක්තියක් වෙමින්, කොළඹ පැවති මෙම සැමරුම් උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධාන වී තිබිණි. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධාන දේශනය ඇතුළු වැඩසටහනේ පළමු පැය දෙක, සියලුම පළාත් වෙත සජීවීව විකාශනය කරන ලද, ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම සහභාගීත්වය සහතික කරමින්, පළාත් නවය පුරාම මීට සමාන්තර දියත් කිරීමේ උත්සව එකවර පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණ.

“ශ්‍රී ලංකාවේ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතිය, නවෝත්පාදනය සහ සහයෝගීතාව පිළිබඳ සුවිශේෂී සැමරුමක් ලෙස මා දකිනවා. සෑම පළාතකම ව්‍යවසායකයින් සවිබල ගැන්වීමෙන්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නිර්මාණ කිරීමට, සම්බන්ධ වීමට සහ වර්ධනය වීමට අවස්ථාව හිමිවන, පරිපූර්ණ බවින් යුතු ඩිජිටල් ආර්ථිකයක් සඳහා අපි අඩිතාලම දමමින් සිටිනවා. පළමු වරට, නවෝත්පාදනය කොළඹට පමණක් සීමා නොවී, දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම වැළඳ ගන්නා බව සහතික කරමින්, පළාත් නවය පුරාම එකවර ගෝලීය ව්‍යවසායකත්ව සතිය දියත් කරන්නට අප කටයුතු කර තිබෙනවා. සැබෑ ප්‍රගතිය සිදුවන්නේ අවස්ථාවන් සැමට සමානව ළඟා වූ විටයි.” යනුවෙන් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර, GEN Global නියෝජිත සුරේෂ් ද මෙල් මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

‘අනාගතය සවිබල ගැන්වීම: ගිග් සහ ඩිජිටල් ආර්ථිකය’ යන තේමාව යටතේ විශේෂාංගයක් ඉදිරිපත් වූ අතර, මෙහිදී ආරම්භක ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පෞද්ගලික අංශයේ හවුල්කාරී දායකත්වය සහ මූල්‍ය සවිබල ගැන්වීමේ මුලපිරීම් ද ප්‍රදර්ශනය කෙරිණ. ‘2035 දැක්ම: ශ්‍රී ලංකාව විසින් නව ව්‍යාපාරික යුගයක් ගොඩනගන්නේ කෙසේද’ නම් වූ තේමාව යටතේ පැවති විද්වත් සාකච්ඡාවේදී හවුල්කාරිත්වය, නවෝත්පාදනය සහ ආරම්භක ව්‍යවසාය වර්ධනය පිළිබඳ අවධානය යොමු විය.

2025 GEW වැඩසටහනේ සෙසු අංග අතරට, වැඩසටහනේ ජවය පෙන්නුම් කරන තේමාත්මක වීඩියෝ ප්‍රදර්ශනයක් සහ දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ විමසුමක් සිදු කෙරුණු අතර, සමාප්ති අදහස් දැක්වීමෙන් පසු මාධ්‍ය හමුවක් සහ සුහද පිළිසඳරක් සඳහා අවස්ථාව උදා විය.

GEW Sri Lanka 2025 දියත් කිරීම, උත්කර්ෂවත් සැමරුම් උත්සවයක සිට සක්‍රීය ව්‍යාපාරයක් දක්වා එලෙස ආරම්භ කෙරුණු අතර, එය ජාතික බලමුළු ගැන්වීමක් සනිටුහන් කළේය. එළඹෙන වසරේදී, දිස්ත්‍රික්ක 25 තුළම රට පුරා වැඩසටහන් 900ක් දියත් කිරීමට මෙමඟින් ඉලක්ක කර ඇත. මේ යට‌තේ හවුල්කරුවන් 250ක් සහ දිවයින පුරා 30,000කට අධික පිරිසක් සම්බන්ධ කර ගැනීමට ද අපේක්ෂා කරයි. එමඟින් ශ්‍රී ලංකාව තුළ පෙර නොවූ විරූ ව්‍යවසායකත්ව සම්බන්ධතාවයක් ඇති කිරීම ද මෙහි තවත් ඉලක්කයකි.

මෙම සුවි‌ශේෂී ඉලක්ක සපුරා ගැනීම සඳහා, මෙම වැඩසටහනට සම්බන්ධ වන ජාතික හවුල්කරුවන් අතර විදාතා, NEDA, SED, IDB, NYC, සහ NYSC ඇතුළත් වේ. මෙහි ඇති තවත් කැපී පෙනෙන කරුණක් වන්නේ, තවත් බොහෝ හවුල්කරුවන් දැනටමත් ශක්තිමත් සහයෝගයක් පෙන්නුම් කරමින් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටීමයි.

මෙම වැඩසටහන දියත් කිරීමේ ප්‍රධානතම අරමුණු වන්නේ, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ ආරම්භක ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමත්, ව්‍යවසායකයින්, ආයෝජකයින්, ශාස්ත්‍රඥයන් සහ රජය යන සියලු පාර්ශවයන් එකට සම්බන්ධ කරන වේදිකාවක් ගොඩනැගීමත් යන කරුණු වේ. මෙම මුලපිරීම මඟින් ව්‍යවසායකත්ව අවස්ථා බිම් මට්ටමට ළඟා වීම සහතික කරන අතර, දිස්ත්‍රික් මට්ටමේ කමිටු ICTA සමඟ සමීපව සම්බන්ධ වෙමින්,  ප්‍රාදේශීය කණ්ඩායම් සම්බන්ධීකරණය සඳහාත් කටයුතු කරයි. මෙම වැඩසටහන මඟින් වැඩමුළු, සංසද සහ නවෝත්පාදන ප්‍රදර්ශන හරහා සිසුන්, ආරම්භක ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික ප්‍රධානීන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත දැවැන්ත වැඩපිළිවෙළක් සිදු කිරීමට සැලසුම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close